නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් අහිමි තිබෙනවා.
ලංකා විදුලි බලමණ්ඩලය සඳහන් කළේ ජනවාරි මස පළමු සතිය තුළ ඒවා යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් අහිමි වී ඇති බවයි.
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් සක්‍රීය තත්ත්වයේ පවතින අතර එමඟින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර තිබෙනවා.
සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 3 වැනිදා ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබු අතර දෙසැම්බර් මස 20 වැනිදා තවත් ජනන යන්ත්‍රයක් දෝෂයක් හේතුවෙන් අක්‍රීය කිරීමට සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.
මේ වන විට එම ජනන යන්ත්‍ර දෙකේම අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින අතර ලබන ජනවාරි මස පළමු සතිය තුළ ඒවා යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් ජල විදුලිය මඟින් විදුලි උත්පාදන කටයුතු සාර්ථකව සිදුවන බැවින් දෛනික විදුලි සැපයුමට බාධාවක් සිදුව නොමැති බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.





