නේවාසික රෝගීන්ට වැඩි මිලට ඖෂධ විකිණීම

වැඩි මිලට ඖෂධ අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ ආසිරි රෝහලට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුකරය කාලාවරෝධයට හසු නොවන බව කොළඹ ප්‍රධාන මහාධිකරණය අවධාරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න පවසා සිටියේ යම් සිද්ධියකට අදාළව “වරද අනාවරණය වූ දිනය” වශයෙන් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළ දිනය සැලකිය නොහැකි බවයි.
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහල සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව සඳහන් කලා.

නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් ‍නාරාහේන්පිට ආසිරි රෝහල් සමාගමේ සභාපති ඇතුළු එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව ගොනුකර ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ පරීක්‍ෂකවරයා විසින්.
ඒ නුගේගොඩ, හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරළ විසින් පසුගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි,
අදාල නඩුව මගින් චෝදනා කර තිබුණේ, 2023 වසරේ පෙබරවාරී 07 වන දා සහ 19 වන දා අතර කාල සීමාව තුළ නාරාහේන්පිට පිහිටි අදාළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි නමැත්තියට නියම කර තිබූ ඖෂධ වලට අදාළව නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා වැඩි මිල ගණන් යොදා මුදල් අය කළ බවයි.
ඒ අනුව ආසිරි රෝහල් සමාගමේ සභාපති ඇතුළු එහි අධ්‍යක්ෂවරුන්ට චෝදනා 11ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින අතර, චෝදනා පත්‍ර කියවා දීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරුන් අධිකරණයට කැඳවමින් මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මෙහිදි ආසිරි රෝහල් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් තර්ක කළේ වරද අනාවරණය වූ දිනයේ සිට මාස තුනක් ඇතුළත නඩු පැවරිය යුතු බවත්, මෙම නඩුව එම කාල සීමාව ඉක්මවා පවරා ඇති බැවින් එය කාලාවරෝධයට පසුව පවරා අති නඩුවක් බැවින් මෙය පවත්වාගෙන යා නොහැකි බවයි.
ඔවුන් ඉදිරිපත් කළ තර්කය වූයේ පැමිණිල්ල ඉදිරිපත් කළ දිනය වරද අනාවරණය වූ දිනය ලෙස සැලකිය යුතු බවයි.
කෙසේ වෙතත්, රජයේ නීතිඥවරිය පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරියා විසින් වරදක් සිදුව ඇති බව තහවුරු කරගත් දිනයේ සිට මාස තුනක් ඇතුළත නඩු පවරා ඇති බැවින් මෙය කාලාවරෝධයට හසු නොවන බවයි.
මෙහිදී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න පවසා සිටියේ යම් සිද්ධියකට අදාළව “වරද අනාවරණය වූ දිනය” වශයෙන් සලකනු ලබන්නේ එම සිද්ධිය පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළ දිනය නොව, විමර්ශන නිලධාරියෙකු විසින් සිදුකරනු ලබන විමර්ශනයකින් අනතුරුව වරද හෙළිකරගත් දිනය බවයි.
මෙහිදී දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුනු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ නියෝගය පිළිබඳ තීන්දුව ලබන 27 වැනිදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා.

Share