නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව අත්තනෝමතික තීන්දු තීරණ ගනිමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලීන් මහතා චෝදනා කරනවා.
ජෝසප් ස්ටාලීන් මහතා වැඩිදුරටත් පවසන්නේ ලක්ෂ 40කට ආසන්න දරුවන් පිරිසකගේ අනාගතය මෙලෙස අනතුරේ දැමීමට ආණ්ඩුවට කිසිසේත්ම අයිතියක් නොමැති බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවක් දක්නට ලැබෙනවා.
6 ශ්‍රේණියේ දරුවන් අතර බෙදා දීමට නියමිතව තිබූ ඉංග්‍රිසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවියක දිගුවක් අන්තර්ගත වීම, බෙදා දෙන ලද මොඩියුළ බොහෝමයක අක්ෂර වින්යාශයන් සහ සෝදුපත් කියවීමේ දුර්වලතා හසුවීමත් මේ සැක සංකා මතු කරන්නට හේතු වී තිබෙනවා.
එමෙන්ම මේ වන විට පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම කෙරෙහිද සමාජය තුළ දැඩි අප්‍රසාදයක් මතුව තිබෙනවා.
මේ අතර මේ මොහොතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අහෝසි කොට ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගේද උපදෙස් ලබාගෙන පිළිගත හැකි අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ලබාදෙන ලෙස ජේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා. වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීත් මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළවුනා. මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.





