රජයට හිමි ආදායම් එක්රැස් කර ගැනීමට ප්රයත්න දැරිය යුතු බවත්, රට තුළ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ගොඩනැගීමේදී රාජ්‍ය අදායම් උපයා දෙන ප්‍රධාන ආයතනවලට විශාල වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ඊයේ අදාළ ආයතන වෙත ගොස් මේ වසරේ ප්‍රගතිය සහ ලබන වසරෙ අපේක්ෂිත ඉලක්ක පිළිබඳ විමසා බැලුවා.
ඉතිහාසයේ වැඩිම බදු ආදායම ලෙස මේ වසරේදී දේශිය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2203ක් රැස් කර තිබෙනවා.
මේ අතර වසර ගණනාවකට පසු සුරාබදු දෙපාර්තමේන්තුවද අපේක්ෂිත ආදායම්
ඉලක්ක අභිබවා ගොස් තිබෙනවා.
2025 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 227.4 අභිබවා යමින්
රුපියල් බිලියන 231.3ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නියමිතයි.
එය 102% ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමක්.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය රඳා පවතින්නේ රාජ්‍ය ආදායම් කොපමණ ප්‍රමාණයක් උපයා ගන්නවාද යන සාධකය මත බවයි.
රාජ්‍ය ආදායම බිඳ වැටුණහොත් රටේ ආර්ථිකය බිඳ වැටෙන බවත් 2020-2021 වසරවල රාජ්‍ය ආදායම විශාල වශයෙන් බිඳ වැටීමේ ප්‍රතිවිපාකවලට රටට මුහුණ දීමට සිදු වූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කළා.
වාහන සහ ගොඩනැගිලි පහසුකම් පිළිබඳ ගැටලු ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපති දිසානායක මහතාගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර වසර 93ක ඉතිහාසයේ වසරක වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් රැස් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේ දී සමත්ව තිබෙනවා
එය වසරේ ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 33ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමක් මෙන්ම පෙර වසරට සාපේක්ෂව 15%ක වර්ධනයක් බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී.
ඉතිහාසයේ එම දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බලමින් කාර්ය මණ්ඩලය සමග හමුවකට එක් වුණා.
ඉහළ කාර්ය සාධනය අගය කරමින් ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ඉදිරියටද එකම අරමුණක් ඔස්සේ කටයුතු කරමින් රටට අවශ්‍ය ආර්ථික පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමට කැපවන ලෙසයි.
බදු නොගෙවා සිටීමේ වරප්‍රසාදයක් කිසිවෙකුට හිමි නොවන අතර, පුද්ගල, ඥාති සහ දේශපාලන සබඳතා මත බදු සංස්කෘතිය ක්‍රියාත්මක වූ යුගය අවසන්ව ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා බදු පැහැර හැරීම් සිදු කරන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළා.
බදු අය කර ගැනීම මර්දනයක් හෝ බලහත්කාරයක් නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එය රාජ්‍යයක හිමිකම බවත්, එම දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් නීති, අණපනත් සහ තනතුරු නාමවල මෙන්ම කාර්යමණ්ඩලවලද කළයුතු වෙනස්කම් සිදු කරන බවත් අවධාරණය කළා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්රතිලාභ රටේ ජනතාවට ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවයි.
බදු සාක්ෂරතාව ඉහළ නැංවිම, බදු ක්රමයේ සරලභාවය සහ කාර්ය මණ්ඩල හිඟය පියවීම වැනි ගැටලු විසඳා ගනිමින් ආණ්ඩුවට හිමි විය යුතු බදු මුදල් නිසි ලෙස ලබා ගැනීමට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාවද දිසානායක මහතා මෙහිදී පැහැදිලි කළා.
2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කය රුපියල් බිලියන 2401ක්.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ බදු පදනම පුළුල් කිරීම මගින් එම ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරන බවයි.





