ට්‍රිලියන 2කට වැඩි බදු එකතු කරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ඉතිහාසයේ ඉහළම බදු ආදායම වාර්තා කර තිබෙනවා.
වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන දෙකකට වැඩි බදු ආදායමක් එකතු කර ගෙන ඇතැයි දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඉතිහාසයේ ඉහළම බදු ආදායම වාර්තා කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නොවැම්බර් 17 වන විට, එකතු කර ඇති මුළු ආදායම රුපියල් මිලියන 2,002,241(විසි ලක්ෂ දෙදහස් දෙසිය හතලිස් එකක්) ක්.
මෙය 2024 දී රැස් කරන ලද මුළු ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පවසනවා.
පසුගිය වසරේ එකතු කළ බදු ආදායම රුපියල් මිලියන 1,942,162ක්.
මෙම කාර්ය සාධනය රජයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කරන අතර ජාතික ආදායම් බලමුලු ගැන්වීමේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින බදු නීති යටතේ තම වගකීම් ඉටු කළ බදු ගෙවන්නන්ට කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය කෘතඥතාව පළ කරන අතර, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන්ගේ සහයෝගයටද ස්තූතිවන්ත වනවා.

Share