ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවෙකු විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය තීන්දු කළා. ඒ අනුව කොළඹ මහාධිකරන විනිසුරු මංජුල තිලකරත්න මහතා වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට නියම කළේ එම පැමිණිල්ල පිළිබඳව සලකා බලා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසයි.
ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙසත් මහාධිකරණ විනිසුරවරයා විසින් නියෝග කළා. 2022 වසරේ මැයි මස 9 ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම”ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනු කළ පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එහි පැමිණිලිකරු වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචි සෙයිද් මොහොමඩ් මවුලානා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචක විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීමකින් තොරව එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් 2022 දෙසැම්බර් මස 02 වනදා ප්‍රතික්ෂේප කර තිබූ බව තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළා.
මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප කිරීමට පෙර විනිසුරුවරයා නිසි මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් අධිකරණ මනසකින් යුතුව ඒ පිළිබඳව සලකා බැලීම අවශ්‍ය බවත් විනිසුරුවරයා පැවසුවා.
මෙවැනි පැමිණිල්ලක් විභාග කිරීම සදහා සිතාසි නිකුත් කරන්නේද? යන්න තීරණය කිරීමට පෙර චෝදනාවලට සම්බන්ධ වරදේ අංග සහ සාක්ෂිවල ස්වභාවය මහේස්ත්‍රාත්වරයා විසින් සලකා බැලිය යුතු බවත් විනිසුරුවරයා කියා සිටියා.
එහෙත් මෙම නඩුකරයේදී මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ නිසි අධිකරණ මනසකින් සලකා බලා නොමැති බව සදහන් කළ විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔහු පුද්ගලික දැනුම මත මෙම තීන්දුව ලබා දී තිබෙන බවයි.
ඒ අනුව චෝදනාවල අංග සහ සාක්ෂිවල ස්වභාවය සැලකිල්ලට භාජනය නොකොට මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දී තිබෙන මෙම තීන්දුව නීතියට පටහැනි බවත් එය තම අධිකණය විසින් ඉවත දමන බවත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුවේ සඳහන් කළා.
ඒ අනුව මෙම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් සලකා බලා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස වර්තමාන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසත් නියම කළා.





