දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ මුහුදේදී, නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 123ක්

දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී, නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 123ක් සොයාගෙන තිබෙනවා.
එහි සිටි සැකකරුවන් පස් දෙනෙක් ද ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දෙනු ලැබුවා.
මේ අතර බේරුවල මුහුදු ප්‍රදේශයෙ දීත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ‍ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව සිදුකරන ලද, විශ්වසනීය තොරතුරු විශ්ලේෂණයකට අනුව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී, නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් මත්ද්‍රව්‍ය බහලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම ධීවර යාත්‍රාව පසුගිය 04 වැනිදා මිරිස්ස ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
එම ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් 5දෙනා සමග අද උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවා.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් බහුදින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගය පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර ඒවා හෙරොයින් බවට තහවුරු කෙරුණා. උර 06ක පැකට් 123ක තිබුණු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 123කට අධිකයි.
වැටලීම කළ නාවික හමුදා කණ්ඩායම ඇගයීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ද වරාය පරිශ්‍රයට පැමිණ සිටියා.

මේ අතර බේරුවල මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම යාත්‍රාවද අද දහවල් දික්ඕවිට ධීවර වරායට රැගෙන ඒමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවා.

Share