ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නොවැම්බර් 29 වැනි දින උදෑසන 11.30 දක්වා වලංගු වන ලෙස දිවයිනේ ගංගා හයකට අධි අවධානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, මැණික් ගඟ සහ මල්වතු ඔය යන ගංගාවල් වෙනුවෙන් අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මෙම ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වලින් පදිංචි වී සිටින ජනතාව පවතින තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.
එම අවදානම් ප්‍රදේශවලින් හැකි වහාම ඉවත්වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
මේ හැරුණු විට අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් මුන්දෙනි ආරු ද්‍රෝණියේ, මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කෝරලේ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් මුන්දෙනි ආරු පහත් බිම් ප්‍රදේශවල මෙතැන් සිට ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා.
එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මාදුරුඔය ද්‍රෝණිය අවට ප්‍රදේශයේත් ඉහළ නගින ජලධාරිතාවන් හේතුවෙන් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර ඇති මාදුරුඔය ද්‍රෝණිය අවට ගංවතුරු අවධාන අවධානම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
ඊට අමතරව යාන් ඔය ද්‍රෝණිය සඳහා ද ගං වතුර අවදානම් නිවේදනයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
මෙම ප්‍රදේශයන්හි පදිංචි වී සිටින ජනතාව ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි යාන්ඔය පහළ ප්‍රදේශවල වෙසෙන මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
විශේෂයෙන් කුච්ඡවේලී, පදවි ශ්‍රීපුර, පදවිය, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල හොරොව්පොතාන, මොරවැව, කහටගස්දිගිලිය හා ගලෙන්බිඳුණු වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල යාන් ඔය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථවාහන රියදුරන් දැඩි අවධානයකින් සහ විමසිල්ලකින් පසු විය යුතු බවටයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ.
මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හැඩ ඔය ද්‍රෝණියේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් හැඩ ඔය පහත් බිම් වෙත ඉදිරි පැය 48 දක්වා වූ කාලයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇති විය හැකියි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.
කුඹුක්කන් ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට තවමත් ලැබෙන අධික වර්ෂාපතනය නිසා මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නක්කල, කුබුක්කන, මාදුරුකැටිය, යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට මෙන්ම ඔක්කම්පිටිය හා ගාමිණී පුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ වලට අයත් කුඹුක්කං ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ වෙත පසුගිය 27 වන දින පස්වරු 3.00ට නිකුත් කළ අධිගංවතුර තත්ත්වයන් ඉදිරි පැය 24 දක්වාත් දීර්ඝ කර තිබෙනවා.
මේ හේතුවෙන් කුඹුක්කන් ඔය ආසන්න ප්‍රදේශවල පදිංචිව සිටින පුද්ගලයින් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථවාහන රියදුරන් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.





