දිට්වා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට

දිට්වා ‘ සුළි කුණාටුවේ බලපෑම දිවයිනේ දිස්ත්‍රික්ක විස්සකට බරපතල ලෙස බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම නිවේදනයේ දැක්වෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ 56ක් වාර්තා වී ඇති බවයි.
ඊට අමතරව මෙම ආපදා තත්ත්වයන් හේතුවෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙක් අතුරුදන් වී ඇති බවත් එම වාර්තාවේ සඳහන්.
අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ අනතුරු නිසා තුවාල ලත් සංඛ්‍යාව 14ක් බව යි එම වාර්තාවේ නවතම යාවත්කාලීන කිරීමේ සඳහන් වන්නේ.
අද උදෑසන 06.00 වන විට දිට්වා සුළි කුනා‍ටුව හේතුවෙන් පුද්ගලයින් 43991 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නවතම නිළ වාර්තාවේ දැක්වෙන්නේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 152 පවුල් 12313 ක් ආපදාවට ලක්වී ඇති බවයි.
මේ හැරුණු විට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්, තවත් නිවාස 666 ක් අර්ධ වශයෙන් හානි වී ඇති බවත් මෙම වාර්තාවේ දැක්වෙනවා.

බදුල්ල……
නවතම වාර්තාවේ තොරතුරු අනුව බදුල දිස්ත්‍රික්කයේ හපුතලයේ කහගොල්ලවත්ත ප්‍රදේශයේ නිවාස දෙකක් නාය ගොස් ඇති අතර එම නිවාස වල පුද්ගලයින් තිදෙනෙක් සිරවී ඇති බවයි වාර්තාවන්නේ
හපුතලේ පොලිසිය සහ ගම්වාසීන් එක්ව ඔවුන් මුදවා ගැනීමේ කටයුතුවල යෙදෙමින් සිටින බව එම වාර්තාවේ සඳහන්.
ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කණුව අසල පස් හා ගල් පෙරලීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වනවා.
රිදීපහන තොරෝනාතොට ප්‍රදේශයේ නාය යෑමක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු කොටුවී ඇති බවත් එම වාර්තාවේ සඳහන්.
කෙසේ වෙතත් ඔවුන්ට තුවාල හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර මුදවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බව බදුල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

මහනුවර…..
මේ අතර මහනුවර පේරාදෙණිය පහළ ඉරියගම ප්‍රදේශයේ නිවසක් වෙත පස් කන්ඩියක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙක් එම නිවසේ සිරවී තිබෙනවා.
ඉන් සිව් දෙනකු මුදවාගෙන රෝහල්ගත කර ඇති අතර ඉතිරි දෙදෙනා සොයා පේරාදෙණිය පොලිසිය සහ ගම්වාසින් මුදවා ගැනීමේ කටයුතුවල යෙදෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ගම්පොළ කුරුඳුවත්තපාර වැලිකන්ද ප්‍රදේශයේ සිදුවූ තවත් නාය යෑමක් හේතුවෙන් නිවාස පහක් යට වී ඇති අතර එම නිවාසවල පුද්ගලයින් සිව් දෙනකු සිරවී සිටිනවා.
ගම්පොළ පොලීසිය සහ ගම්වාසින් ඔවුන් මුදවා ගැනීමේ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.
කටුගස්තොට කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලගෙදර ප්‍රදේශයේ පස් හා විශාල ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නවතම වාර්තාව සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් මාර්ගය මේ වන විට වසා දමා ඇති අතර මාර්ගයේ අවහිරතාව යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි ගලගෙදර පොලිසිය සඳහන් කර ඇත්තේ ජලගැලීම් හේතුවෙන් කටුගස්තොට අඹතැන්න ප්‍රදේශයේ නිවසක පළවන මහලේ පුද්ගලයින් සිව් දෙනෙකු සිරවී ඇති අතර ඔවුන් මුදවා ගැනීමට පිරිස් යොදවා ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තාවේ සඳහන්.
එමෙන්ම ගම්පොළ නාවපිටිය මාර්ගයේ ගඩොල් පාලම අසල නවතා තිබූ බස් රථ දෙකක් ජල පහරට ගසා ගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.
ගම්පොල පල්ලේගම නිවාස දෙකකට හානි සිදුවී ඇති අතර ගම්පල නගරය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බවයි මෙම වාර්ථාවේ සඳහන් වන්නේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාවලපිටිය උලපනේ මාර්ගය වෙත පස් කණ්ඩි කඩා වැටීම නිසා මාර්ගය අවහිර වී තිබෙනවා
ගම්පොළ රෝහල පිටුපස පහළ කුඩා මාකේ ප්‍රදේශයේ 25 දෙනෙකු කොටුවී ඇති බවයි වාර්තා වන්නේ.
ගම්පල පොලිස් ස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා බෝට්ටුවක් සමඟ මුදවා ගැනීමේ කණ්ඩායම් ඒ වෙත යොමු කර ඇති බවයි ආපදා කළමනාපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය………….
දිට්වා සුළි කුනාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා මේ වනවිට නුවරඑළිය නගරයේ රෝහල අසල ප්‍රදේශය සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබෙනවා.
මේ නිසා නගරය තුළ ප්‍රවාහන කටයුතුද බොහෝ ලෙස අඩපණවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
ප්‍රවාහන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආපදා සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින බවත් එහි වැඩිදුරටත් සඳහන්.
දිස්ත්‍රිකයේ සිදුවී ඇති නායෑම් හේතුවෙන් වලපනේ නාතොටවෙල පදියපැළැල්ල ප්‍රදේශයේ නිවාස තුනක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
එම නිවාස වල පුද්ගලයින් තිදෙනකු සිරවී සිටින බවත් ඔවුන් මුදවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් වලපනේ පොලිසිය සඳහන් කර තිබෙනවා.
නාවලපිටිය හිල්ටන් වතුයායේ තවත් නිවාස තුනක් නාය ගොස් ඇති බව මෙම වාර්තාවේ සඳහන්.
එම නිවාස වල සිටි පුද්ගලයින් මුදවා ගැනීමේ කටයුතු සිදුවීමෙන් පවතින බව නාවලපිටිය පොලීසිය සඳහන් කර තිබෙනවා.

මාතලේ ….
ආපහු කළමනාකරණ මධ්‍යස්ථාන නවතම වාර්තාවේ සඳහන් වන්නේ මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවර කිරීම හේතුවෙන් ඇළහැර බකමූණ ප්‍රදේශයේ සියඹලාව යන ස්ථානයේ පුද්ගලයින් පහළොස් දෙනෙකු පමණ කොටුවී ඇති බවයි.
ඒ පිරිස මුදවා ගැනීම සඳහා යුද හමුදා විශේෂ මුදවා ගැනීමේ කණ්ඩායමක් යොමු කර ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

මුලතිව් දිස්ත්‍රික්කය….
මුලතිව් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නන්දිකඩාල් කලපුව ජලයෙන් පිරී ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නවතම වාර්තාවෙන් සඳහන්.
මේ හේතුවෙන් කුඹුරු අක්කර දස දහසක් පමණ ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මුලතිවූ මුතියන් කට්ටු ජලාශයද වාන් දමමින් පවතින බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.


කුරුණෑගල දිස්ත්‍රික්කය…
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලගැලීම් හේතුවෙන් පාදනිය නිකවැරටිය මාර්ගයේ පැටපොල, අඹහේන, වල්පාළුව, පහළයාය යන ස්ථානවල නිවාස යට වී තිබෙනවා.
දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස එම නිවාස යට වී ඇති බවයි වාර්තාවේ සඳහන් වන්නේ.
වාරියපොළ පොලිස් ස්ථානයේ සම්බන්ධීකරණයෙන් පුත්තලම නාවික හමුදා කඳවුරේ විශේෂ මුදවා ගැනීමේ කණ්ඩායම් එම නිවාස වල කොටුවී සිටින පුද්ගලයින් මුදවා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තාවේ සඳහන්.
එමෙන්ම මාවතගම අරඹෙපොළවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් විසිදෙනෙකු ජලගැලීම් හේතුවෙන් කොටුවී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා.
වාරියපොළ පොලිස් ස්ථානයේ සම්බන්ධීකරණයෙන් පුත්තලම නාවික හමුදා කඳවුරේ මුදවා ගැනීමේ කණ්ඩායමක් ඔවුන් ගලවා ගැනීම සඳහා යොමු කර තිබෙනවා.
මේ හැරුණු විට කුරුණෑගල වාරියපොළ තෙන්නකෝන් ප්‍රදේශයේ තවත් නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන අතර ඔවුන් වෙනුවෙනුත් සහන සේවා ක්‍රියාත්මකයි.
පොළොන්නරු දිස්ත්‍රික්කය….
පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව සහ වැව් පිටාර දැමීම හේතුවෙන් මැදිරිගිරිය පැරකුම් ප්‍රදේශයේ නිවාස ගණනාවක් ජලයෙන් යට වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නවතම යාවත්කාලීන කිරීමේ දැක්වෙනවා.
ඔවුන් වෙනුවෙන් සහන සේවා ක්‍රියාත්මකයි.

Share