දිට්වා සුලි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 16 ලක්ෂකට අධික පිරිසක් පීඩාවට

දිවයිනට බලපෑ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 16 ලක්ෂකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද පෙරවරු 6 වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 479ක් වන අතර 350 දෙනෙකු අතුරදන්ව සිටිනවා.
සුළි කුණාටුව සමග ඇති වූ ගංවතුර තත්ත්වය කොළඹ ඇතුලු ප්‍රදේශවල තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 6ට නිකුත් කළ වාර්තාවට අනුව තවදුරටත් අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණණ 350ක්
දිවයින පුරා පවුල් 455,405කට අයත් පුද්ගලයින් 1,614,790දෙනෙකුට ගංවතුර, නායයෑම් සහ දැඩි සුළං හේතුවෙන් පීඩා එල්ල වී තිබෙනවා.
මෙම ව්‍යවසනයෙන් නිවාස 1,289ක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව තවත් නිවාස 44,556කට අර්ධ හානි සිදුව ඇතැයි ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ආරක්ෂිත මධ්‍යස්ථාන 1,347ක පුද්ගයින් 188,974 දෙනෙකු තවදුරටත් රැඳී සිටිනවා.

ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත් යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සදහන් කළා. සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් පසු මෙරට සමස්ත දුම්රිය මාර්ග පද්ධතියෙන් භාවිතයට ගත් හැක්කේ සියයට 30ක කොටසක් පමණක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
අයහපත් කාළගුණය හේතුවෙන් වැඩිම හානියක් එල්ල වී ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයටයි.
උඩරට මාර්ගයේ පේරාදෙණියේ යකා පාලමට බරපතළ හානි සිදුව ඇති බැවින් එය සම්පූර්ණයෙන්ම නැවත ඉදිකිරීමට සිදුවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම පාලම කඩා වැටිමේ අවදානමක පවතින බැවින් එය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඊට අමතරව තැනින් තැන සිදු වූ හානි හේතුවෙන් නැගෙනහිර, උතුරු මාර්ගවල දුම්රිය ගමනාගමනයද මේ වන විට සම්පුර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
එමෙන්ම හලාවත මාර්ගයේ ද දුම්රිය ධාවනය තවමත් සියයට සියයක් යථා තත්ත්වයට පත් ව නැහැ.

Share