දිට්වා සුලි කුණාටුවෙන් පසු ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දෙන සහය හුදු ආධාර පැකේජයක් පමණක් නොව වඩාත්ම විශ්වාසදායක මිතුරා සහ සහකරු ලෙස ඉන්දියාවේ පුලුල් කැපවීම පෙන්නුම් කිරීමක් බව මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා
මහකොමසාරිස්වරයා මේ බව කියා සිටියේ ආපදාවෙන් විනාශ වූ මහනුවර මහියංගනය මාර්ගයේ බෙලිහුල් ඔය හරහා ඉදිකර තිබූ පාලම වෙනුවට ස්ථාපිත බේලි පාලම විවෘත කිරීමෙන් පසු ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.
එම අවස්ථාවට එක් වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජයට මුදල් හිඟයක් නොමැති නමුත් මානව සම්පත් ගැටලුවක් ඇති බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මහනුවර මහියංගනය මාර්ගයේ බෙලිහුල් ඔය හරහා ඉදිකර තිබූ පාලම වෙනුවට ස්ථාපිත කළ අඩි 100ක් දිග බේලි පාලම ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා.
දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවට සහන සැලසීමට ඉන්දීය රජය ආරම්භ කළ සාගරබන්ධු මෙහෙයුම යටතේ ඉදිකෙරුණු දෙවැනි බේලි පාලම මෙයයි.
ශ්‍රී ලංකා යුද හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව ඉන්දියානු හමුදාවේ 19 වැනි ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මෙම පාලම සවිකරනු ලැබුවා.
මෙම පාලම කැඩී යෑම හේතුවෙන් ඌව පළාත සහ මධ්‍යම පළාත සම්බන්ධ කරන ප්‍රධාන මාර්ග රැසක ගමනාගමන කටයුතු මහවැලි රජ මාවතෙන් අවහිර වී තිබුණා.
මේ අතර ඉන්දියානු ආධාර පැකේජය යටතේ ඉදිරියේ දී තවත් බේලි පාලම් 15 කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිත බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.
මේ අතර, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ වනවා.
මේ සඳහා අරමුදල් සැපයෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ඉන්දීය ප්‍රදානයක් යටතේයි.
මේ යටතේ උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්තෙයි, ඕමන්තෙයි – යාපනය සහ මැදවච්චිය-මන්නාරම යන බලපෑමට ලක් වූ කොටස් තුන ප්‍රතිසංස්කරණය කරනු ඇති.




