දෙමසක් පුරා දියේ ගිලුණු වනාතවිල්ලුව

ජීවිත සිය ගණනක් අහිමි කළ තවත් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි කළ දිට්වා සුළි කුණාටුව අපේ රටින් බැහැරව ගියත් ඉන් පීඩා විඳින විශාල ජනතාවක් තවමත් කරකියා ගත දෙයක් නොමැතිව කම්පාවට පත්ව සිටිනවා.
වනාතවිල්ලුව සින්නනාගවිල්ලුව, ගම්මානයේ ජනතාවත් විසඳුමක් නැති ගැටලු වැලක පැටලී සිටින්නේ සිය ගම්මානයේ ජලය තවමත් බැස නොයාම හේතුවෙන්.
ඔවුන්ට සිදුව ඇත්තේ දිට්වා පිටව ගොස් දින 60කට වැඩි කාලයක් ජලයෙන් යට වූ තම නිවාස දෙස බලා සුසුම්ලෑම පමණයි.

දිට්වා දිවයිනෙන් බැහැරට ගොස් දින 60කට අධික කාලයක් ගතව ඇතත් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සින්නනාගවිල්ලුව ගම්මානයේ නිවාස තවමත් පවතින්නේ මහා ජල කඳට යටවයි.
මේ හේතුවෙන් සේරක්කුලිය ග්‍රාම නිලධාරී වසමේ අක්කර 300ක් පුරා විසිරී ඇති බිම්කඩ තුළ ඉදිකර ඇති නිවාස 24ක පදිංචි ජනතාව පත්ව ඇත්තේ කරකියා ගත නොහැකි තත්ත්වයකටයි.
ගම්වාසීන්ට මේ වන විට සිදුව ඇත්තේ ජලයෙන් යට වූ තම සන්තකය දෙස බලමින් සුසුම්ලෑම පමණයි.
දිට්වා ඒමට පෙර යමක්කමක් ඇතිව ජීවත්ව ගොඩනඟාගත් නිවාස සියල්ලට අත්වී ඇත්තේ වචනයෙන් කියා නිම කළ නොහැකි ව්‍යසනයක්. එම අහිංසක ජනතාවගේ සිත් තුළ මේ වන විට ඉතිරිව ඇත්තේ බලාපොරොත්තුවක් පමණයි. කෙසේ වෙතත් දිස්ත්‍රික් ලේකම්වරයා අප සමග සදහන් කළේ පීඩාවට පත් මෙම ගම්වාසීන්ට හැකි සෑම පහසුකමක්ම සැලසීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් මාධ්‍ය හරහා මෙම තොරතුරු දිගින් දිගටම ජනගත වීමත් සමග හිටි අඩියේ මේ පිළිබඳව සොයා බැලීම සඳහා අද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගම්මානයට පැමිණියා.
කෙසේ වෙතත් එම නිලධාරීන් පිරිස ගම නිරීක්ෂණය කිරීමට සූදානම් වුවත් මාධ්‍යවේදින් එම අවස්ථාවට එක්කර ගැනීමට අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ.

නිරීක්ෂණ චාරිකාව නිම කොට පැමිණි අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යවේදීන්ට සදහන් කර සිටියේ නාවික හමුදාව වෙනත් අයව රැගෙන යාමට අවසර ලබා නොදුන් බවයි.
එසේම අනවශ්‍ය ප්‍රශ්න රට තුළ ඇති කරමින් මාධ්‍ය ඔස්සේ මෙවැනි ක්‍රියා ජනගත කිරීම සුදුසු නොවන බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යවේදීන් හමුවේ නෝක්කාඩුවක්ද පවසා සිටියා.
කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි නාවික හමුදා නිලධාරීයෙකු ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදීන් එම නිරීක්ෂණ චාරිකව සදහා රැගෙන යාම තමන් කිසි විටෙකත් ප්‍රතික්ෂේප නොකළ බවයි.
අපේ සමාජයේ ජීවත්වන ජන කොටසක් විපතට පත් වූ මොහොතක එය සමාජගත කොට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම මාධ්‍යවේදීන්ගේ පරම යුතුකමක් මෙන්ම අත්හල නොහකි වගකීමක්.
එම වගකීම ඉටු කිරීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතියට බාධා කිරීමට හෝ මේ හෙලිදරව්ව සිදුකල මාධ්‍යවේදීන්ට නෝක්කඩු කීමට ආපදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇති අයිතිය කුමක්ද?
දිට්වා සුළි කනාටුවක් සමග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාර්ය බහුල වූ බව අප දන්නා කාරණයක්.
කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අවධානය ද මෙම කාරණය වෙත යොමු වුනේ මාධ්‍ය හරහා දිගින් දිගටම කළ අනාවරණයන් නිසා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් පිළිගත යුතු වන සත්‍යයක්.

Share