මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ. දිවයින බල පා තිබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට දැඩි බලපෑම් ඇතිවී තිබෙනවා. මේ හඟුරන්කෙත – හේවාහෙට ප්‍රදේශයේ නිවාස 13ට වැඩි සංඛ්‍යාවක් මේ වන විටත් ජලයෙන් යටව පවතින අතර හේවාහැට – දෙල්තොට වරාකලවිට මාර්ගයට පයිනස් ගස් වැටීම හේතුවෙන් ගමනාගමනයටත් බාධා ඇතිව තිබෙනවා. අධික වර්ෂාපතනය හමුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කිරිමැටිය, මහතලාකොල වැව, රත්මලේ, පල්ලියගොඩැල්ල, පඹුරාණ, ඉලූක්පිටිය ආදී ප්‍රදේශවල පහත් බිම් රැසක පිහිටි ගොවිබිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.
නුවරඑලිය – කඳපොළ ගල් පාලම ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවීම නිසා ගමනා ගමනයට බාධා එල්ල වී ඇති අතර නුවරඑළිය – උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගයේ කදපොල කොට්ලොජ් හංදිය නව මාර්ගය ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වීම ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර නිල්වලා පහළ නිම්නය ගොවි සංවිධාන එකමුතුව අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වූවා.
ඒ වර්ෂා පතනයත් සමග කරගොඩ උයන්ගොඩ අක්කර පන්සීයක කුඹුරුයාය වතුර බැස නොයාම හේතුවෙන් විනාශයට පත්වන වන බවට චෝදනා කරමින්.
පසුගිය 22 වැනිදා නාය යෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනා ගමනය සඳහා නැවත විවෘත කර තිබෙනවා.බදුල්ල- නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ වැලිමඩ – පොලීසිය අසලින් මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක පමනක් වාහන ධාවනය සඳහා විවෘතව ඇති බවයි වාර්තා වන්නේ.
හපුතලේ – ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට සහ තේ කර්මාන්ත ශාලාවට යන මාර්ගය මෙලෙස නාය ගොස් ඇති අතර විශාල ගසක් කඩා වැටිම නිසා බොරලන්ද සිට ලෝකාන්තය දක්වා දිවෙන මාර්ගයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටී තිබෙනවා.
දියතලාව දුම්රිය ස්ථානය අසල ද ගසක් කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධී වී අති බවයි අප වාර්තාකරු පැවසුවේ.
කොලොන්න – පුපුලකැටිය කෑලිකන්ද ප්‍රදේශයට කබරගල කන්දේ කොටසක් නායයෑම හේතුවෙන් පවුල් හයක පුද්ගලයින්ට එම ස්ථානයේ රැඳී සිටමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙනවා.මහනුවර – ධම්මදස්සි මාවතටත් පස් කඳු හා ගල් කඩා වැටීම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.





