තාවි සමරවීර මේස පන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ලොව පළමු ස්ථානයට

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය විසින් නිකුත් කරන ලද නවතම වයස අවුරුදු 11 න් පහළ පිරිමි ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ලොව පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.
මෙය ඕනෑම වයස් මට්ටමක දී ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ලැබූ ඉහළම දක්ෂතාවයි.
කුඩා කල සිටම මේසපන්දු ක්‍රීඩාවෙන් කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කළ තාවි සමරවීර මෑත කාලයේදි ශ්‍රී ලංකාවට මේසපන්දු ක්‍රීඩාවෙන් ඉතිහාසගත ජයග්‍රහණ රැසක් රැගෙන ආවා.
ඉතාලියේ පසුගියා දා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට සහභාගී වූ තාවි සමරවීර එහිදී අවුරුදු 11න් පහළ මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණේ ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම දක්ෂතාව දක්වමින්.
තාවි සමරවීර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ 5වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

Share