බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ වැඩබලන සභාපති තරික් රහ්මාන් වසර 17 කට ආසන්න කාලයකට පසු අද යළි සිය රටට පැමිණියා.
පෙබරවාරි මාසයේ පැවැත්වෙන මැතිවරණයේ අගමැති ධුරය සඳහා ප්‍රමුඛතම තරඟකරුවා වීමට රහ්මාන් සූදානමින් සිටිනවා.
ඩකා ගුවන්තොටුපළේ සිට පිළිගැනීමේ ස්ථානය දක්වා මාර්ගය දිගේ ලක්ෂ සංඛ්‍යාත ආධාරකරුවන් පක්ෂ කොඩි ලෙලවමින් සිය නායකයා පිළිගැනීමට රැස් ව සිටියා.
හිටපු අගමැතිනි කලීඩා සියාගේ පුත්‍රයා වන 60 හැවිරිදි රහ්මාන් 2008 සිට ලන්ඩනයේ ජීවත් වන අතර 2018 සිට වැඩබලන සභාපති ලෙස BNP නායකත්වය ලබා දුන්නා.
මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා සහ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා යටතේ ඔහු නොමැතිව විභාග කළ නඩුවලදී රහ්මාන් වරදකරු කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය වසරේ ශිෂ්‍ය අරගලයකින් හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු එම තීන්දු අවලංගු කරනු ලැබුවා.
රහ්මාන් ඩකා හි දී ජන රැළියක් ඇමතීමට නියමිත අතර දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවන සිය මව බැලීමට යෑමට පෙර ඔහු රැළියට සහභාගී වීම විශේෂත්වයක්.





