තද වැසි ගැන අනතුරු ඇඟවීමක්

ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමේ ප්‍රතිඵලයක් ලෙස දිස්ත්‍රික්ක 10ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සියලු දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය හෙට පෙරවරු 7.30 දක්වා වලංගු වනවා.
මේ අතර නාය යෑමේ රතු නිවේදන නිකුත් කළ දිස්ත්‍රිත්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක හඳුනාගත් අවදානම් ස්ථානවල ජීවත්වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන 7.30ට නිකුත් කළ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය හෙට උදෑසන 7.30 දක්වා බලපැවැත්වෙනවා.
ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරුමැද පළාත්වල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති වනු ඇතැයි අනාවැකි පල කර තිබෙනවා.
දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වීමේ බලපෑම මත උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තද වැසි ඇති වීමේ අවදානම ඇති දිස්ත්‍රික්ක දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය සතියේ සෘජු බලපෑම් එල්ල වූ ප්‍රදේශ වීම කැපීපෙනන කරුණක්.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41 සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යාමේ රතු නිවේදන නිකුත් කර තිබුණා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයට අයත් හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්භාගේකෝරළේ, දෙල්තොට, පූජාපිටිය, ගඟඉහළකෝරළේ, පන්විල, ගඟවටකෝරළේ, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර හා පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්
කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරනායක, යටියන්තොට, රඹුක්කන, වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මාවතගම, මල්ලවපිටිය, රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් සහ
මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාඋල, විල්ගමුව, පල්ලෙපොළ, අඹන්ගඟකෝරළේ, ලග්ගල, පල්ලෙගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නාය යාමේ රතු නිවේදන නිකුත් කෙරුණා.
ඒ අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් අවදානම් සහිත ස්ථානවල සිටින ජනතාව වහාම ක්‍රියාත්මක වන පරිදි සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අද සිට ලබන 19 වැනිදා දක්වා ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබා ගන්නා ලෙසයි.

Share