ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට පියවර

අද පෙරවරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඉන්ධන ටැංකියක් ගිනි ගැනීමට ලක් වුණා.
ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය මේ වන විට තෙවැනි සතියටත් දිග් ගැස්සෙන පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ඉරානයට සමග යුද්ධයේ 17 වැනි දිනය එළැඹ තිබිය දී ඊශ්‍රායලය පවසන්නේ තවත් ඉලක්ක දහස් ගණනකට පහර දීමට ඇති බවයි.
සෑම දිනකම අලුත් ඉලක්ක හඳුනා ගන්නා බව එරට හමුදා ප්‍රකාශකයා පැවසුවේ රූපවාහීන් ප්‍රකාශයක් සිදුකරමින්.
එමෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ද අඛණ්ඩව පහර දෙන බව පවසන ඊශ්‍රායල හමුදාව පවසනවා.
ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ මිය ගිය ගණන 850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කිසිදු ආකාරයක සාම සාකච්ඡාවකට සූදානම් නැතැයි ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබුණා.
මේ අතර එක්සත් ජනපද මධ්‍යම විධානය ද ඉරානයේ මිලිටරි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන නව දර්ශන පෙලක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පල කර තිබෙනවා.

එමෙන්ම රාත්තල් 75,000 ක බරක් රැගෙන යා හැකි B-1B ලාන්සර් යානා, එපික් ෆියුරි මෙහෙයුමට සහය දක්වමින් මැද පෙරදිග පුරා ක්‍රියාත්මක බව ද මධ්‍යම විධානය සඳහන් කරනවා. පසුගිය පැය 24 දී ඊශ්‍රායල වෙත ද දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට උදව් කිරීමට යුරෝපයේ මිත්‍ර රටවල් අපොහොසත් වුවහොත් නේටෝ සංවිධානයේ අනාගතය ඉතා නරක තැනකට ගමන් කරනු ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.
ඔහු පැවසුවේ හෝමුස් ආරක්ෂාව සඳහා රටවල් හතකට කතා කළ බවයි.

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ජනාධිපති ට්‍රම්ප් සමග මේ පිළිබඳ දුරකථන සංවාදයක නිරතව ඇති අතර කැනේඩියානු අගමැතිවරයා හමු වීමට නියමිත බව ද ඩවුනින් වීදියේ කාර්යාලය නිවේදනය කළා.
එයාර්ෆෝර්ස් වන් යානයේ දී ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ ඉරානය සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ ටෙහෙරානය “කිසි විටෙකත් සටන් විරාමයක් හෝ සාකච්ඡාවක් නොඉල්ලූ බවයි.
මෙය ජනාධිපති ට්‍රම්ප් සහ එක්සත් ජනපදය විසින් තෝරා ගන්නා ලද යුද්ධයක් වන අතර, ඉරානය එහි ආත්මාරක්ෂාව සලසා ගනිමින් සිටින බව අරග්චි සඳහන් කළා.

Share