ට්‍රම්ප් ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව ඇමෙරිකානු සෙනෙට් සභා⁣වේදී පරාජය වෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද බල තල සීමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබෙනවා. එම යෝජනාවට විරුද්ධව ඡන්ද 53ක් හිමිවෙද්දී පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 47ක් පමණයි. මේ අතර 6 වන දිනටත් ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙහෙයුම අතරතුර මේ දක්වා ඇමෙරිකානු සොල්දාදුවන් 6 දෙනෙක් මිය ගිය බව පෙන්ටගනය තහවුරු කරනවා.

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඊයේ යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 47ක් පමණයි. විපක්ෂව ඡන්ද 53ක් හිමිවීම හේතුවෙන් එය පරාජයට පත් වුණා. අදාළ යෝජනාව පරාජයට පත්වීමත් සමග ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී ඇතැයි එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වාර්තා කළා. මෙම ප්‍රහාරවලින් රාජ්‍ය ගොඩනැගිලි, නිවාස සහ ව්‍යාපාරික මධ්‍යස්ථාන විනාශවී තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර ද දැඩි කර තිබෙනවා. ලෙබනනයේ අගනුවරට ඊයේ දින ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළා. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ බේරූට්-රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයටයි. මේ වන විට ඊශ්‍රායල් හමුදාව ගොඩබිම් මාර්ගයෙන් ද ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර පුද්ගලයින් 72 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තමන් කිසිවිටකත් යටත් නොවන බව හිස්බුල්ලා සංවිධානයේ නායක නයිල් කසේම් නිවේදනය කරනවා. ඔහු අවධාරනය කරන්නේ ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බවයි.

Share