ට්‍රම්ප්ගේ බදු යෝජනාව යුරෝපා නායකයින් හෙලා දකී

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන යුරෝපා රටවල් අටකට නව තීරුබදු පනවා තිබෙනවා.
ඒ අනුව ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලින් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 10%ක නව තීරු බද්දක් පැනවෙනු ඇති.
Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ පෙබරවාරි 01 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම ජුනි 01 වැනිදා සිට මෙම තීරු බද්ද 25%ක් දක්වා ඉහළ දමන බව ද ට්‍රම්ප් සදහන් කර තිබෙනවා.
ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන භූමියක් වන ග්‍රීන්ලන්තය එක්සත් ජනපද ආරක්ෂාවට ඉතා වැදගත් බවත් එය බලහත්කාරයෙන් හෝ අත්පත් කර ගැනීම ප්‍රතික්ෂේප කර නොමැති බවත් ට්‍රම්ප් අවධාරනය කරනවා.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යෝජිත තම යෝජනාවට විරුද්ධ වන මිත්‍ර පාක්ෂික රටවල් අටකට නව තීරුබදු පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනය යුරෝපීය නායකයින්ගේ හෙළා දැකීමට ලක්වුණා.
එක්සත් රාජධානියේ අගමැති කීයර් ස්ටාර්මර් මෙම පියවර සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බව පැවසූ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ එය “පිළිගත නොහැකි” බවයි.
ට්‍රම්ප්ගේ තර්ජනවලින් පසුව, යුරෝපා සංගමය ඉරිදා බ්‍රසල්ස් හි පස්වරු 5:00 ට හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.
රොයිටර් පුවත් ඒජන්සියට අනුව, මෙම රැස්වීමට යුරෝපා සංගමයේ රටවල් 27 ක තානාපතිවරු සහභාගී වනු ඇති.
මේ අතර, යෝජිත එක්සත් ජනපද අත්පත් කර ගැනීමට විරෝධය පළ කරමින් සෙනසුරාදා ග්‍රීන්ලන්තයේ සහ ඩෙන්මාර්කයේ දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතාවල ද නිරත වුණා.

මෙවන් පසුබිමක යුරෝපා සංගමය සහ දකුණු ඇමෙරිකානු රටවල් 4ක එකතුවක් වන මර්කෝසර් කණ්ඩායම අතර දැවැන්ත නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබුණා.
පැරගුවේ රාජ්‍යයේ අසුන්සියොන් හිදී ඊයේ ගිවිසුමට අත්සන් තැබුණේ වසර 25ක සාකච්ඡාවලින් අනතුරුවයි.
මෙම ගිවිසුම මගින් මිලියන 700කට අධික පාරිභෝගික ජනතාවක් ආවරණය වන ලොව විශාලතම නිදහස් වෙළඳ කලාපයක් නිර්මාණය කෙරෙනු ඇති.
යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් සහ මර්කෝසර් සංවිධානයේ සාමාජිකයින් වන ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පැරගුවේ සහ උරුගුවේ යන රටවල් මේ සඳහා ඇතුළත්.
යුරෝපීය මෝටර් රථ, යන්ත්‍රෝපකරණ සහ ඖෂධ දකුණු ඇමෙරිකානු වෙළඳපොළ සඳහා විවෘත කිරීමත්, දකුණු ඇමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන වන මස්, සීනි සහ සෝයා සඳහා යුරෝපීය වෙළඳපොළ විවෘත කිරීමත් මෙහි මූලික අරමුණ වනවා.

Share