ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවක් පහර දී ගිල්වා දැමීමට ගත් තීරණය පිළිබඳව තමන් නාවික බලධාරීන්ගෙන් ප්‍රශ්න කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
කෙන්ටකි ප්‍රාන්තයේ පැවැති රැලියකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, අදාළ නෞකාව අත්පත් කර ගන්නවා වෙනුවට එය විනාශ කළේ මන්දැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවයි.
ඉරාන නැවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ අමෙරිකානු ජනාධිපතිවරයා කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. එහිදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ “මම ඇහුවා ඇයි අපි ඔවුන්ව ඝාතනය කළේ කියලා, ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න?” යනුවෙන්.
එහිදී නෞකාව අත්පත් කර ගැනීමට වඩා එය ගිල්වා දැමීම යෝග්‍ය බව තම ජෙනරාල්වරයෙකු තමන්ට පැවසූ බවත්, ඔහු එය හැඳින්වූයේ “සර්, එය වඩාත් විනෝදජනකයි” යනුවෙන් බවත් ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පසුගිය සතියේ ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක දුරකින් ජාත්‍යන්තර මුහුදේදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කරන ලද ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව ගිල්වා දැමුවා.
මෙම ප්‍රහාරයෙන් නාවියන් 104දෙනෙකු පමණ මියගොස් තවත් 32දෙනෙකු තුවාල ලැබුවා.
මේ අතර, ඉරානයට සිදුකරන පහරදීම් තවමත් අවසන් කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, ඉතිහාසයේ ඕනෑම රටකට පහරදුන් ප්‍රමාණයට වඩා දරුණු ලෙස අමෙරිකාව ඉරානයට පහරදී ඇති බවයි.
ධවල මන්දිරය ඉදිරිපිට දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්, අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා
ඉරානයට මේ වන විට ඔවුන්ගේ නාවික හමුදාව, ගුවන් හමුදාව, ගුවන් යානා නාශක උපකරණ, රේඩාර් පද්ධති සියල්ල අහිමි වී ඇති අතර ඔවුන්ගේ නායකයින් ද අහිමි වී ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ.
මේ අතර ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටි සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන් පොලිස් භාරයට ගෙන ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය චෝදනා කරන්නේ මාධ්‍යවේදිනියගේ රාජකාරියට පොලිසිය විසින් කළ බලපෑම හා බාධා කිරීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
සටහන් වාර්තා පැහැර ගනිමින් හා පරුෂ වචනයෙන් බැන වදිමින් ඇයගේ රාජකාරියට මෙලෙස බාධා කොට ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බවයි වාර්තා වන්නේ.
එසේම මේ පිළිබඳව ගාල්ල පොලිසියට මාධ්‍යවේදිනී සුලෝචනා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ ද එහි අංකය හෝ තොරතුරු සැපයීම ගාල්ල පොලිස් ස්ථානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්.
මෙවැනි සිද්ධීන් හරහා රාජපක්ෂ පන්නයේ මර්ධනකාරී පාලන ක්‍රමයක් වෙත වත්මන් මාළිමා රජය වේගයෙන් අවතීර්ණ වෙමින් සිටින බව පිළිබිඹු වන බවටයි එම ව්‍යාපාරය චෝදනා නගන්නේ
ඒ අනුව භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස අභියෝගයට ලක්කරමින් මාධ්‍යවේදිනි සුලෝචනා රාමයියා මොහාන්ගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරීන් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර ඔවුන්ට එරෙහිව නිසි පියවරක් ගැනීමට කටයුතු කරන ලෙසත් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බලධාරින්ගෙන් ඉල්ලා තිබෙනවා.




