ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පද්ම කුමාර පහරදුන් සුසන්ත ඇඹිලිපිටිය රෝහලේ

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පද්ම කුමාර මහතා පහරදුන් බව පවසමින් සුරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් වී තිබෙනවා.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා ශාන්ත පද්ම කුමාර මන්ත්‍රිවරයාගේ මන්ත්‍රිවරයාගේ මාමණ්ඩියට අයත් බව පැවසුණු ඉඩමක ගංජා වැටලීමක් කළ පොලිස් කණ්ඩායමේ සාමාජිකයෙක්.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පද්ම කුමාර මහතාගේ මාමණ්ඩියට අයත් බව කියන ඉඩමක තිබී ගංජා වගාවක් සූරියකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය දා වටලනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් පද්ම කුමාර මන්ත්‍රිවරයා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළා.
එවන් පසුබිමක් තුළ එම වැටලීමට සහභාගී වූ සුසන්ත නැමති පොලිස් කොස්තාපල්වරයා මන්ත්‍රීවරයා පහරදුන් බව පවසමින් රෝහල්ගත වී තිබෙනවා.
ඔහු පවසන්නේ රාජකාරිය නිමවා යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියදී කැබ් රථයකින් පැමිණි මන්ත්‍රිවරයා ‘මට උඹව හමුවෙන්න ඕනේ යනුවෙන් පැවසීමත්’ සමඟ දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් ඇතිවූ බවයි.
පසුව කැබ් රථයෙන් මග හරස් කළ මන්ත්‍රිවරයා ඇතුළු පිරිස යතුරුපැදියේ ගමන් ගත් තමන්ට පහරදුන් බව කොස්තාපල්වරයා සඳහන් කළා.
පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කොළොන්න මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටිය මහ රෝහල‌ට මාරු කර යැවුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කොස්තාපල්වරයාගෙන් සහ ඔහුගේ බිරිදගෙන් අද පස්වරුවේ පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
මෙම පහරදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පල කළා.

Share