ජලාශ රැසක් වාන් දමයි – ප්‍රදේශ රැසකට ජල ගැලීම්

මේ අතර දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර තත්ත්පරයට ඝන අඩි 19,400ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ හේතුවෙන් දැදුරු ඔය දෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර අධික වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනක් අඟල් අට බැගින් විවෘත කිරීම හේතුවෙන් කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.
ජල මට්ටම ඉහළ යාමත් සමග කිරිඳිඔය දෙපස ජනතාව සහ කිරිදිඔය භාවිතයට ගන්නා ජනතාව අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය ඉල්ලීමක් කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශයේ වාන් දොරට තිහෙන් වාන් දොරටු හතරක් විවෘත කොට ඇති අතර ඉන් තත්පරයට ගණ අඩි 2144ක ජල ධාරිතාවක් කලාඔයට මුදා හැරෙනවා.
ඒ මෙන්ම අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 590ක ජලධාරිතාවක් කලාඔයට මුදා හරින බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8 ක් අද උදෑසන විවෘත කෙරුණා.
ඉන් තත්ත්පරයකට ඝන අඩි 3200 ක් මුදා හරින අතර එම ජලය සෘජුවම මී ඔය ඔස්සේ කලපුවට ගලා යාම සිදුවනවා.
එබැවින් පහළ නිම්නයේ ජනතාව අවාධනයෙන් පසුවන්නැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය අනතුරු ඇගවීම් කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට තබ්බෝව, පාවට්ටාමඩුව, තේවනුවර හා මී ඔය මෙන්ම වනාතවිල්ලුව ප්‍රදේශයේ රෙඩ්බානා ආදි ප්‍රදේශ රැසක් සම්පූර්ණයෙන් ජලයෙන් යටව ඇති අයුරු දක්නට ලැබුණා.

Share