ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය තුළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට එක්වීමට නියමිතයි.
එහිදී ඔහු යුරෝපා නායකයින් රැසක් හමුවීමට නියමිතව ඇතැයි වාර්තාවනවා.
මේ අතර ජනාධිපති ට්‍රම්ප් රැගත් එයාර්ෆෝස් වන් යානය සුලු විදුලි ගැටලුවක් හේතුවෙන් යළි වොෂිංටනයට ගොඩබස්වනු ලැබුවා.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට එරෙහිව එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින්, “ආපසු යාමක් නැත” සහ “ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍යයි” යනුවෙන් පවසා තිබෙනවා.
ධවල මන්දිරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී, ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට කොපමණ දුරක් යාමට කැමති දැයි විමසූ අවස්ථාවේ දී “ඔබට එය වැටහෙනු ඇත” යනුවෙන් ට්‍රම්ප් පිළිතුරු දුන්නා.
මේ අතර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ රැස්වීමකදී “නීති නොමැති ලෝකයක් කරා මාරුවීමක්” ගැන අනතුරු ඇඟවූවා.
ට්‍රම්ප් අද ඩාවෝස් වෙත පැමිණීමට නියමිතව සිටි නමුත් එයාර් ෆෝස් වන් හි ඇති වූ සුළු විදුලි ගැටළුවක් හේතුවෙන් යානය යළි ගොඩබස්වනු ලැබුවා.
කෙසේ වෙතත් ට්‍රම්ප් වෙනත් ගුවන් යානයකින් ඩාවෝස් වෙත පියාසර කරන බව ධවල මන්දිරය නිවේදනය කළා.
ට්‍රම්ප් මීට පෙර පැවසුවේ ඩාවෝස් හිදී ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් සාකච්ඡා රැසක් පැවැත්වීමට නියමිත බවයි.
ධවල මන්දිරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී ග්‍රීන්ලන්තය වෙනුවෙන් ගෙවීමට කැමති මිල, නේටෝ සන්ධානය බිඳවැටීම දැයි විමසූ අවස්ථාවේ දී ට්‍රම්ප් පැවසුවේ තමන්ට වඩා කිසිවෙක් නේටෝව වෙනුවෙන් කටයුතු කර නොමැති බවයි.
නේටෝව සහ ඇමෙරිකාව සතුටින් සිටිනු ඇතැයි සඳහන් කළ ජනාධිපති ට්‍රම්ප් ලෝකයේ ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීන්ලන්තය අවශ්‍ය බව යළි අවධාරණය කළා.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව දැනට සාමාජික රටවල් 32 කින් සමන්විත අතර එක්සත් ජනපදය ආරම්භක රටවල් 12 න් එකක්.
සාමූහික ආරක්ෂාවක් හරහා නිදහස සහ ආරක්ෂාව රැක ගැනීම සඳහා නිර්මාණය කර ඇති, නේටෝ සන්ධානයේ මූලික මූලධර්මවලින් එකක් 5 වන වගන්තියේ දක්වා ඇති අතර, එහි සඳහන් වන්නේ එක් සාමාජිකයෙකුට හෝ වැඩි ගණනකට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් සියල්ලන්ටම එරෙහි ප්‍රහාරයක් ලෙස සලකනු ඇති බවයි.
ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා හමුදා බලය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර නැති අතර ප්රවෘත්ති සාකච්ඡාවේ දී බලහත්කාරයෙන් එම ප්‍රදේශය අත්පත් කර ගන්නේ දැයි විමසූ විට, ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පිළිතුරු නොදෙන බව සදහන් කළා.
මේ අතර යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන්, ඩාවෝස් හි දී ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික හමුව අමතමින් ග්‍රීන්ලන්ත ප්රශ්නය සෘජුව ආමන්ත්‍රණය කළා.
ඇය අවධාරණය කළේ ආක්ටික් ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපය “සම්පූර්ණයෙන්ම කැපවී සිටින” බවයි.
කෙසේ වෙතත්, මෙය සාක්ෂාත් කරගත හැක්කේ එක්ව පමණක් බව ඇය පැවසූ අතර, ට්‍රම්ප්ගේ යෝජිත අතිරේක තීරුබදු “වැරැද්දක්” ලෙස හැඳින්වූවා.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වුවහොත් පෙබරවාරි 1 වන දින සිට යුරෝපීය රටවල් අටකින් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරුබදු එකතු කරන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
වොන් ඩර් ලේන් ඇගේ කතාවේදී, යුරෝපීය සංගමය ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්ක රාජධානිය සමඟ “පූර්ණ සහයෝගීතාවයෙන්” සිටින බවත් ඔවුන්ගේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් “සාකච්ඡා කළ නොහැකි” බවත් දැඩිව කියා සිටියා.
මේ අතර එක්සත් ජනපදය සහ යුරෝපය අතර ආතතීන් තවත් උත්සන්න කරන පියවරක් ලෙස, ජූලි මාසයේදී එකඟ වූ එක්සත් ජනපද වෙළඳ ගිවිසුම අනුමත කිරීම අත්හිටුවීමට යුරෝපීය පාර්ලිමේන්තුව සැලසුම් කරන බව ද වාර්තා වනවා.
එම ගිවිසුම මගින් බොහෝ යුරෝපීය භාණ්ඩ සඳහා ට්‍රම්ප් මුලින් නියම කරනු ලැබූ සියයට 30ක තීරු බද්ද සියයට 15 දක්වා අඩු කරනු ලැබුවා.
ගනුදෙනුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තවමත් යුරෝපීය පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වනවා.
යුරෝපීය පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ කමිටුවේ සභාපති බර්න්ඩ් ලැන්ජ් පැවසුවේ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇති තර්ජන හේතුවෙන් ගනුදෙනුව අත්හිටුවීම හැර “විකල්පයක්” නොමැති බවයි.
මෙම අර්බුදය මූල්‍ය වෙළෙඳපොළවල් කැළඹීමට හේතු වී ඇති අතර, වෙළඳ යුද්ධයක් සහ එහි වෙළඳ පියවරයන් සඳහා එක්සත් ජනපදයට එරෙහිව පළිගැනීමේ හැකියාව පිළිබඳ කතාබහ නැවත ඇති කර තිබේ.





