චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා හෙට ශ්‍රී ලංකාවට

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා හෙට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. ඔහු අඟහරුවාදා උදෑසන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමූවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වනු ඇති. අප්‍රිකානු රටවල් හතරක සිදුකරන සංචාරය අවසන් කරමින් ආපසු යන අතරතුර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා හෙට පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ පවත්වනු ලබන සාකච්ඡාවේදී පෝර්ට් සිටි ව්‍යාපෘති ඇතුළුව ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති කඩිනම් කිරීම මෙන්ම නව චීන ආයෝජන පිළිබඳ වැඩි අවධානය යොමු කරනු ඇතැයි සඳහන්.

චීන සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණීම දිරිගැන්වීම සහ කොළඹට අමතර ගුවන් ගමන් පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා පාර්ශවය චීනයේ සහාය ඉල්ලා සිටිනු ඇතැයි සාකච්ඡා සම්බන්ධයෙන් සමීප ආරංචි මාර්ග පැවසුවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පැමිණ ශ්‍රී ලංකා නායකයින් හමුවී මාසයකටත් අඩු කාලයකට පසුව වීන විදේශ අමාත්‍යවරයාගේ සංචාරය සිදු වීම විශේෂත්වයක්.

ඉතියෝපියාව, සෝමාලියාව, ටැන්සානියාව සහ ලෙසෝතෝ ඇතුළු අප්‍රිකානු රටවල් හතරක සංචාරයකින් පසු නැවත සිය මව්බිමට යන අතරතුර චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

මෙම සංචාරය උපායමාර්ගික හවුල්කරුවන් සමඟ අන්‍යෝන්‍ය විශ්වාසය පුලුල් කිරීමේ උත්සාහයක් ලෙස විස්තර කර තිබෙනවා.

Share