හෙළයේ මහා ගීත කෝකිලාවිය කලාශුරි ලතා වල්පොල මහත්මිය අද පස්වරුවේ දහස් ගණනක් රසිකයින්ගේ සෝ සුසුම් මැද බොරැල්ල පොදු සුසාන භූමියේදී දැයට සමුදුන්නා.
කලාකරුවන් දේශපාලනඥයින් රසිකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණු මෙම අවමංගුල් උත්සවය පැවැත්වුණේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.
කොළඹ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක සිට අද පෙරවරුවේ මහජන ගෞරව පිණිසය පිණිස කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආ ලතා වල්පොල කලාකාරිනියගේ දේහයට එහිදී ද විශාල පිරිසක් සිය අවසන් ගෞරවය දක්වනු ලැබුවා.
පුරා දශක අටකට ආසන්න කාලයක් තමන්ටම ආවේණික සුමදුර වූ හඬකින් හෙළයේ ගී කෙත පෝෂණය කළ ගීත කෝකිලාවිය වූ ලතා වල්පොල මහත්මිය පසුගිය 27 වැනිදා සවස දිවි මඬලෙන් බැස ගියා.
මෙම මහා ගායනවේදනීය දිවියෙන් සමුගන්නාවිට පසුවූයේ 91 වැනි වියෙහියි.
අවසන් ගෞරව සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයින් වැල නොකැඩී පැමිණියා.
ඉන්පසු කලා ශූරී ලතා වල්පොලගේ දේහය කොළඹ නිදහස් චතුරස්රයට රැගෙන එනු ලැබුවේ අද පෙරවරු 10.ට පමණයි.
එතැන් සිට නිදහස් චතුරස්රයට පැමිණි කලාකරුවන් දේශපාලන්ඥයින්, රසිකයින් ඇතුළු විශාල පිරිසක් ඒ මහත්මියට සිය අවසන් ගෞරවය පුද කර සිටියා.
පස්වරු එකට පමණ ආගමික වතාවත් ආරම්භ වූ අතර මෙහිදී බෞද්ධ මෙන්ම කතෝලික ආගමික වතාවත් ද සිදු කෙරුණා.
ඉන් අනතුරුව ලතා වල්පොල මහත්මියගේ දේහය රැගත් රිය පෙරහැර කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේ සිට පිටත් වුණේ පස්වරු 4ටපමණයි. දේහය රිය පෙරහරකින් බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියට රැගෙන එනු ලැබුවේ බොරැල්ල කනත්තේ මිහිදන් කළ යුතු බවට වූ ඇයගේ අවසන් කැමැත්තට අනුවයි.
බොරැල්ල පොදු සුසාන භූමියට රැස්වූ ලතා වල්පොල ගීත කෝකිලාවියගේ හඩට පෙම් බැඳි අති විශාල රසික පිරිසකගේ සෝ සුසුම් මැද හිරු බැස යන සන්ධ්‍යාවේ ඇය සදහටම දෙව් මව් තුරුලේ සැතපුනා.
දශක අටකට ආසන්න කාලයක් සිය මදුර මනෝහර ගී හඩින් රසික සිත් අමන්දානන්දයට පත් කළ ලතා වල්පොල කලා ශුරියගේ නික්ම යන්නේ මෙරට සංගීත ක්ෂේත්රයේ මැකිය නොහැකි හිදැසක් නිර්මාණය කරමින්.
නත්තල් මාසයේ සෑම කිතුණු නිවසකම පල්ලියකම ඇසෙන නමෝ මරියනේ ගීතය තවත් දශක ගණනාවක් එලෙසින්ම මතු මතුවටත් පරපුර ගණනාවක් රසවිඳිනු නියතයි. නත්තල් මාසයේ රැව් පිළිරැව් දෙන ඒ හඬේ උරුමකාරිය නත්තල් මාසයේම දෙව් මව් තුරුලට යෑම දෙවියන්ගේ කැමැත්ත මිස අන් කුමක්ද?
ඇයට මෝක්ෂ සුව අත් වේවා





