ගිනි ගන්නා ගල්ෆ් බලශක්තිය

කුවේට්හි දෙවැනි තෙල් පිරිපහදු සංකීර්ණයටත් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
කුවෙට් සිටි හි මිනා අබ්දුල්ලා පිරිපහදුවේ ඩ්‍රෝන යානයක් ගැටීමෙන් ගින්නක් ඇති වූ බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළා.
මීට පෙර මීනා අල් අහමදි පිරිපහදුවට ද ප්‍රහාරයක් එල්ල වීමෙන් ගින්නක් හට ගත්තා.
ඉරානයට අයත් පාර්ස් ස්වභාවික වායු නිධියට එල්ල වූ ප්‍රහාරයත් සමග ඉරානය කටාර් හි ගෑස් මධ්‍යස්ථානය වන රාස් ලැෆාන් කාර්මික නගරයට මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණා.
මේ අතර පාර්ස් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය විවේචනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත්තේ අමෙරිකාව මෙම ප්‍රහාරය ගැන කිසිවක් නොදැන සිටි බවයි.

ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ලෙස සැලකෙන දකුණු පාර්ස් වෙත ඊයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වුණා. එල්ල වූ ප්‍රහාරයෙන් යටිතල පහසුකම් කිහිපයකට හානි සිදුව ඇතැයි ඉරාන තෙල් අමාත්‍යංශය සඳහන් කළා. මෙහි ගෑස් නිධි කටාර් සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරනවා.

මෙම ප්‍රහාරයත් සමග සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් හි ඛනිජ තෙල් පහසුකම් කිහිපයකට ඉවත් වීමේ අනතුරු ඇඟවීමක් ඉරානය නිකුත් කළා.
ඉන් පැය කිහිපයක් ගත වීමට පෙර කටාර් හි ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානය වන රාස් ලැෆාන් කාර්මික නගරයට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල වුණා. මෙම ප්‍රහාර වලින් “දැඩි හානි” සිදුව ඇති බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කළා. කටාර් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඉරානය එල්ල කල ප්‍රහාරය “භයානක සහ වගකීම් විරහිත පියවරක්” බවයි.
ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් කටාර්හි ඉරාන තානාපති කාර්යාලයේ සිටින ආරක්ෂක සහ හමුදා උපදේශකවරුන්ට මෙන්ම ඔවුන් යටතේ සේවය කරන නිලධාරීන්ට පැය 24ක් ඇතුළත රටින් පිටවන ලෙස කටාර් රාජ්‍යය නියෝග කළා. කුවේට්හි මිනා අබ්දුල්ලා සහ මීනා අල් අහමදි පිරිපහදු දෙකටම ඉරාන ‌ප්‍රහාර එල්ල වී තිබෙනවා.

සෞදි අරාබියේ අගනුවර පිහිටි තෙල් පිරිපහදු දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පසු, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇති බව සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු අවධාරණය කරනවා.
රියාද් නුවර පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ඔහු පවසා ඇත්තේ, ඉරානය සිය වැරදි තක්සේරු කිරීම් පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බව හා මෙවැනි ප්‍රහාර මගින් ටෙහෙරානයට කිසිදු වාසියක් අත්නොවන බවයි.

මේ අතර ඉරානයේ සවුත් පාර්ස් ස්වභාවික වායු නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෘත් සෝෂල් හි විවේචනය කර තිබුණා.
පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවට මූලික හේතුව වූයේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාව බව ඔහු පවසනවා.

මේ අතර ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය සම්බන්ධයෙන් එරට උත්තරීතර නායක මොජ්තබා කමේනි විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඉස්ලාමීය පද්ධතිය නමැති වෘක්ෂයේ පාමුල මෙලෙස ලේ වැගිරීමෙන් එම පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන බව ඔහු එහි දී අවධාරණය කර තිබෙනවා.
“සෑම ලේ බිඳුවකටම මිලක් ඇතැයි පවසමින් උත්තරීතර නායකයා අනතුරු අඟවන්නේ, මෙම ප්‍රාණ පරිත්‍යාගීන් ඝාතනය කළ අපරාධකරුවන්ට නුදුරේදීම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටයි.

මේ අතර ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානිගේ දියණිය වන ෆාතිමා අර්ඩෙෂිර්-ලාරිජානි අමෙරිකාවේ එමරි විශ්වවිද්‍යාලයට අනුබද්ධ වින්ෂිප් පිළිකා ආයතනයේ සහකාර මහාචාර්යවරියක ලෙස දැරූ තනතුරෙන් ඉවත් කර ඇති බව Califoia Post පුවත්පත වාර්තා කරනවා.
ඇයව සේවයේ යෙදවීමට එරෙහිව එල්ල වූ දැඩි මහජන විරෝධය මීට හේතු වී ඇති බවයි එහි සදහන් වන්නේ.

ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක වීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල අද දහවන් විට ඩොලර් 96.90ක් ලෙස සටහන් වී ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 113.70ක් ලෙසයි.
එය පෙර දිනයට සාපේක්ෂව 4%ක ඉහළ යාමක්.

Share