ගිං සහ නිල්වලා ගංගා පිටාර ගැලීමේ අවදානමක්

දිවයිනේ නිරිත දිග කොටසට පවතින වැසි තත්ත්වයත් සමග ගිං සහ නිල්වලා ගංගා පිටාර ගැලීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ටීවී සුප්‍රීම් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන මේ වන විටත් ජලයෙන් යටව පවතින බවයි.
ජල ගැලීම් හේතුවෙන් ගමනාගමන අපහසුතාවයන්ට ලක් වූ උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට ළඟා වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය හා එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවා. පවතින අධික වර්ෂාවත් සමග මාතර නිල්වලා ගඟේ අතු ගංගාවක් වන උරුබොක්ක ඔය ඌරව ප්‍රදේශයෙන් සුලු ගංවතුර මට්ටම ඉක්මවා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා. නිල්වලා ගඟේ ජල මට්ටම ද පිටබැද්දර සහ පානදුගම ප්‍රදේශවලින් ඉහළ යමින් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරුස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට තවලම ප්‍රදේශයෙන් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ඒ අනුව නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය – දිවිතුර, ඇල්පිටිය සහ අක්මීමන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ගිං ගඟ නිම්නයේ පහත්බිම්වල සුලු ගංවතුර අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.
ගිංගග පිටාර ගැලීමෙන් නාගොඩ – බද්දේගම අධිවේගී පිවිසුම් මාර්ගය අගුරුවල සහ උනන්විටිය ප්‍රදේශවලින් ජලයෙන් යටවී සම්පූර්ණයෙන්ම ගමනාගමනයට බාධා ඇතිවී තිබෙනවා.
එමෙන්ම ගාල්ල මාපලගම ප්‍රදේශයේ ද ගිං ගඟ දෙපස පහත්බිම් සහ ඇතැම් මාර්ග ජලයෙන් යටව පවතින බව ටීවී සුප්‍රීම් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. ගාල්ල , මාතර දිස්ත්‍රික්ක දෙකෙහි ස්ථාන කීපයක් ජලයෙන් යට වීම නිසා ගමනාගමන අපහසුතාවයන්ට ලක් වූ මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් බෝට්ටු කීපයක් යොදවා තිබුණා. මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පහත්බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා. මේ අතර අධික වර්ෂාවත් සමග රජාංගනය හා අංගමුව ජලාශවල වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා.
එම ජලය මුදා හැරෙන්නේ කලා ඔයටයි. ඉහළ මහවැලි ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු හතරක් අද අලුයම විවෘත කිරීමට කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
මෙමගින් තත්ත්පරයට ඝණ අඩි හයදහසක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදාහැරෙනවා. කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව අනාවැකි පල කරන්නේ අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බවයි.

Share