ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්රීවරියක් ඇතුළු මන්ත්රීවරුන් 5 දෙනෙකු අද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්රහාර එල්ල කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධාකිරීම යන චෝදනාව යටතේයි.
ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්රහාර එල්ල කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රීවරුන් වන ජිලිත් නිශාන්ත, එම්.එම්.එම්.යෙසීර්,සමගි ජන බලවේගය පක්ෂ මන්ත්රීවරුන් වන ප්රභාත් සෙනවිරත්න, කපිල කොහොබන් සහ පොදු ජන එක්සත් පෙරමුණ මන්ත්රීනී නිමාලි චම්පිකායි.
ප්රකාශ සටහන් කරගැනිමෙන් පසු අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද ගාල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟ සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්රීවරු විරෝධය පළකිරීමත් සමඟින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.
ඉකුත්දා පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලක් මත ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සභා ගර්භයට පැමිණ ක්රියා කළ ආකාරය සම්බන්ධයෙන් මෙම තත්ත්වය ඇතිවී තිබුණා.
නගරාධිපතිවරයා න්යායපත්රානුකූලව සභාවේ කටයුතු ක්රියාත්මක කළ අතර ඉන් අනතුරුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් ලේකම් මණ්ඩලය රැඳි සිටින පෙදෙසට වතුර බෝතල්වලින් ප්රහාර එල්ල කළා.
තත්ත්වය පාලනය කිරීම අපහසුවීමත් සමඟ සභාව විනාඩි 30කට කල්තැබීමට නගරාධිපතිවරයා කටයුතු කළ අතර එහිදීද විපක්ෂයේ මන්ත්රීවරු කෑ ගසමින් නොසන්සුන් ලෙස හැසිරුණු අයුරුද දක්නට ලැබුණා.





