හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනු කර තිබූ ග්‍රීක බැඳුම්කර නඩුව සම්බන්ධයෙන් රුපියල් බිලියන 1.84කට ආසන්න මුදලක් මාස 3ක් තුළ ගෙවීමට නියම කර තිබූ නියෝගය අනුව එම මුදල ගෙවා නොමැති බව වාර්ථා වනවා.
ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අප කළ විමසීමක දී සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිල වශයෙන් තහවුරු කරගැනීමෙන් අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.
2011 සහ 2012 වසරවලදී ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිය විදේශ සංචිතවලින් 0.6%ක් හෙවත් යුරෝ මිලියන 22.1ක් පමණ මුදලක් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කර තිබුණා.
කෙසේ වෙතත් ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි ඒ සමයේ සිදුකළ මෙම ආයෝජනය හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 1.84කට ආසන්න අලාභයක් සිදු වූ බවට චෝදනා එල්ල වුණා.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එවක මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මහ බැංකුවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නඩුවක් ගොනු කළා.
අදාළ නඩුව පසුගිය දෙසැම්බර් 10 වන දා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
එහිදී, එම කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, මෙම චෝදනා පත්‍රයේ රජයට පාඩු කළ බව සඳහන් රුපියල් බිලියන 1.84ක මුදල දඩයක් වශයෙන් අය කර ගැනීමේ කොන්දේසියට යටත්ව, හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට සූදානම් බවයි.
ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් නියෝග කළේ රුපියල් බිලියන 1.84කට ආසන්න මුදල මාස තුනක් ඇතුළත ගෙවීමේ කොන්දේසිය යටතේ නඩුව ඉවත් කිරීමටයි.
එම නියෝගයට අනුව නියමිත කාලසීමාව තුළ අදාළ මුදල ගෙවීම මහ බැංකුව වෙත සිදු නොවන්නේ නම් නඩුව නැවත ගොනු කිරීමට හැකි බව ද අධිකරණය විසින් අවධාරණය කර තිබුණා.
කෙසේ වෙතත් ඒ අනුව නිදහස් කෙරුණු හිටපු මහා බැංකු අධිපතිවරයා සඳහන් කලේ ඔහුව නිදොස් කොට නිදහස් කළ බවයි.
කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට මේ මස 10 වැනිදා දක්වා කාලයට මාස තුනක කාලයක් සපිරීමත් සමඟ මේ පිලිබඳව නැවත වරක් සමාජයේ දැඩි කතාබහක් මතු වුණා
එවන් පසුබිමක මතභේදාත්මක ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන් රුපියල් බිලියන 1.84ක මුදලක් ගෙවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව පවසමින් මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහන්ද එක් කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමයේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු පවසා සිටියේ හිටපු මහ බැංකු අධිපතිවරයා අදාළ දඩ මුදල ශ්‍රී ලංකා මහ බැංකුවට නිල වශයෙන් ගෙවා ඇත්දැයි යන සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විමසීමක් සිදුකර ඇති බවයි.
එම විමසීමට ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යම් හෙයකින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදාල දඩ මුදල ගෙවා නොමැති නම් අල්ලස් හෝ දූෂණය විමර්ශන පනතේ 67/5 වගන්තිය යටතේ තමන් නැවත වරක් නඩු පැවරීමක් සිදුකරන බවයි.
බොහෝ විට එම නඩු පැවරීම ලබන සතිය තුළදී සිදුකෙරෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් tv supreme news සමඟ පවසා සිටියා.




