මහනුවර දිස්ත්‍රික්කයේ අති සුන්දර ගම්මනයක් වූ ගලමුදුන ගම්මානයට යාම සඳහා නිසි මාර්ග පද්ධතියක් නොමැති වීම හේතුවෙන් එහි වැසියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් කිලෝමීටර් 6කට ආසන්න දුරක් පා ගමනේ නිරත වීමට තමන්ට සිදුව ඇති බවයි.
මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගලමුදුන ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කරම ගම්මානයක්.
මේ ගම්මානයේ පවුල් 36ක පුද්ගලයින් 110 ක් පමණ ජීවත් වනවා.
ගලමුදුන ගම්මානය සඳහා ගමන් කිරීමට ඇති එකම මාර්ගයේ අද වන විටත් දක්නට ඇති තත්ත්වයයි මේ.
මාර්ගය අබලන් වීම හේතුවෙන් ගම්වාසීන්ට සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නගරයට යෑමේ දී කිලෝ මීටර් 6 කට ආසන්න දුරක් පා ගමනින් සම්පූර්ණ කිරීමට සිදුව තිබෙනවා.
මෙම මාර්ගය ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 208 ක මුදලක් වෙන් කර තිබුණද පසුගිය අගෝස්තු මාසයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඉදිකිරීම් වසරකට කල් දමා ඇත්තේ ඇයි ද යන්න අබිරහසක්.
මාර්ගය සකස් කරනවා වෙනුවට දේශපාලනඥයින්ගේ විසඳුම වී ඇත්තේ ගම්මානයේ ජනතාව ප්‍රධාන මාර්ගය ආසන්නයේ පදිංචි කරවීමයි.
එම යෝජනාවට ජනතාවගේ ප්‍රසාදයක් ඇතත් තම ප්‍රධාන ජිවනෝපාය වූ කෘෂිකාර්මික කටයුතු කරගෙන යෑමට විකල්පයක් නොලැබුණු බව ඔවුන් සඳහන් කළා.





