කෝටි 5ක කුෂ් අල්ලයි

කෝටි 5කට අධික වටිනාකමකින් යුත් කිලෝ 5කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර, ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලොකු පැටීගේ සහෝදරියගේ පුතාට වෙඩි තැබීමට පැමිණි බව පැවසෙන පුද්ගලයෙකු අල්ලාගෙන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ දිනවන සමාජ මාධ්‍ය සංසරණය වනවා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ට වැඩි ප්‍රමානයක් රැගෙන මෙරටට පැමිනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් වුනා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මූතූර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
මෙම සැකකරු අදාල කුෂ් මත්ද්‍රව්‍ය තොගය මිලදීගෙන ඇත්තේ තායිලන්තයේ බැංකොක් අගනුවරදී.
ඉන් පසු ඔහු එම මත්ද්‍රව්‍ය තොගයත් සමග ඉන්දියාවේ බැංගලෝර් වෙත ගොස් එහි සිට ඉන්දීය ගුවන් සමාගමට අයත් යානයකින් අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා.
ඔහු රැගෙන ආ ගමන් මලු 2ක පතුලෙහි ඉතා සූක්ෂම අයුරින් පැකට් 4ක් ලෙස අසුරා සකස් කළ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 140ක ප්‍රමාණයක් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයා ගැණුනා
රුපියල් පන් කෝටි දහ හතර ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලොකු පැටීගේ සහෝදරියගේ පුතාට වෙඩි තැබීමට පැමිණි බව පැවසෙන පුද්ගලයෙකු අල්ලාගෙන ඔහුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ දිනවන සමාජ මාධ්‍යයේ සැරිසරණවා.
එම වීඩියෝවේ දැක්වෙන්නේ කරන්දෙණිය සුද්දාගේ ගෝලයෙකු විසින් ලොකු පැටීගේ අක්කා කෙනෙකුගේ පුතෙකුට වෙඩි තැබීමට පැමිණි බවට සැකකෙරෙණ පුද්ගලයෙකු අල්ලාගෙන ඔහුට පහර දී ඇති බවයි
කෙසේ වෙතත් මෙම සිද්ධියට පැමිණි තවත් පුද්ගලයෙකු එම ස්ථානයෙන් පලාගොස් ඇති බවටත් එම ෆේස්බුක් සටහනේ දැක්වෙනවා.

මේ අතර, වීරකැටිය – බුද්ධියාගම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ උනාකුරුව ශාන්තගේ ගෝලයෙකු වන ලියනගේ ලක්මාල් නොහොත් මීගා, නිවසක සැඟවී සිටියදී තංගල්ල කොට්ඨාස අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
30 හැවිරිදි මෙම සැකකරු ගල්පොත්තයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කුලී නිවසක් සැඟව සිටියදී අත්අඩංගුවට ගැණුනු මෙම සැකකරු ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක්, විද්‍යුත් තරාදියක්, මෙරට නිෂ්පාදනය කරන ලද බෝර 12 පතොරම් දැමිය හැකි තුවක්කුවක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරු 2020 වසරේදී මීගමුව ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතන සිද්ධියක 2 වැනි සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර ඔහු වසර එකහමාරක් පමණ බන්ධනාගාරගතව ඇප ලබා පැමිණි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
දකුණු පළාතේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උණාකුරුවේ ශාන්තගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු මොහු විසින් සිදුකරන බවටයි පොලිසිය සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

Share