කුවේට් වෙරළට නාවික සැතපුම් 30ක් පමණ දුරින් නවතා තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අසල සිදුවූ පිපිරීමකින් ඉන්ධන කාන්දුවක් සිදුවන බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය තහවුරු කර තිබෙනවා. ඔවුන් සඳහන් කළේ නෞකාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂිත මුදා ගත් බවයි. තෙල් කාන්දුව හේතුවෙන් පාරිසරික බලපෑමක් එල්ල විය හැකි අතර, පිපිරීම සමඟ කිසිදු ගින්නක් වාර්තා වී නොමැති බව සඳහන්.
මේ අතර සයිප්‍රසයේ දකුණුදිග ඇක්‍රොටිරි ප්‍රදේශයේ පිහිටි පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ඉරනාය එල්ල කළ එකක් නොවන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාරය දියත් කළේ කවුරුන්දැයි ආරක්ෂක අමාත්‍යාංශය හෙලි කර නැහැ. මෙම ප්‍රහාරයෙන් කඳවුරට සුළු හානි සිදු වූ බව සයිප්‍රස් ජනාධිපතිවරයා පැවසුවා.
මේ අතර යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ඉරානයේ බුද්ධි අමාත්‍යාංශයේ නිලධාරීන් අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් CIA වෙත සිය කැමැත්ත පළ කර ඇති බව New York Times පුවත්පත වාර්තා කර තිබෙනවා.
මෙම යෝජනාව නම් නොකළ රටක බුද්ධි ඒජන්සියක් හරහා ඉදිරිපත් කර ඇති බවත්, මැදපෙරදිග සහ බටහිර රටවල නිලධාරීන් ප්‍රකාශ කළ බවත්, එම වාර්තාවේ සඳහන්.
සිය රටට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙසට කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි, ඉරානයෙන් ඉල්ලා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ කළ දුරකතන සංවාදයකදී මෙම ඉල්ලීම කළ බවයි.
ඉරානය කටාර් ඇතුළු සිය අසල්වැසි රටවලට මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගණනක් එල්ල කර ඇති අතර, අමෙරිකානු හමුදා කඳවුරු පමණක් නොව සිවිල් සහ බලශක්ති යටිතල පහසුකම්වලට ද පහරදී ඇති බවට ඉරානයට චෝදනා එල්ල වනවා.
ඉරානයට එරෙහිව සිදු කරන යුද්ධයේදී අමෙරිකාවට සිය සහයෝගය පළ කිරීමට ස්පාඤ්ඤය තීරණය කර ඇති බව එක්සත් ජනපදයේ මාධ්‍ය ලේකම්වරිය සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බ්‍රස් පවසන්නේ මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ ස්ථාවරය වෙනස්වී නොමැති බවයි
එක්සත් ජනපද හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ස්පාඤ්ඤය එකඟ වූ බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට්ගේ ප්‍රකාශය අසත්‍ය බව ද ඔහු කියා සිටියා.




