ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ප්‍රසාද් රුවන් නොහොත් “කුඩු රොෂාන්” නමැත්තා ගිනි අවියක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර පසුගියදා අම්බලන්ගොඩ නගරයේදී පුද්ගලික වෙළෙඳ ආයතනයක කළමනාකාරවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එහි නිලධාරීන් පිරිසක් විසින් පිරිසක් විසින් අද පෙරවරුවේ මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී තුප්පැහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් “කුඩු රොෂාන්” නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු සන්තකයේ තිබූ මිලිමීටර් 9 පිස්තෝල වර්ගයේ ගිනි අවියක්ද වැටලීම් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.
කුඩු රොෂාන් යනු 2019 වසරේදී ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය සුසාන භූමියේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුයි.
එමෙන්ම කුඩු රොෂාන්ට අයත් රුපියල් කෝටි 50ට අධික වටිනාකමින් යුත් වත්කම් සිය භාරයට ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මීට පෙර කටයුතු කර තිබුණා.
මේ අතර රාගම, පහලවත්ත සුසාන භූමිය අසළ දමාගොස් තිබියදී ඊයේ රාත්‍රියේ පොලිස් භාරයට ගත් මෝටර් රථය, T – 56 වර්ගයේ ගිනි අවිය සහ පතොරම් ගැබ් දෙක සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා.
මේ අතර අම්බලන්ගොඩ නගරයේ පුද්ගලික වෙළෙඳ ආයතනයක දී එහි කළමනාකරවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඝාතනයෙන් අනතුරුව අම්බලන්ගොඩ, කුරුදුවත්ත, ආඳාදොළ මාර්ගයේ දමාගොස් තිබියදී පොලිසිය විසින් එදිනම සොයාගත් වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ මෙම පුද්ගලයා බව අනාවරණ වී තිබෙනවා.





