කුඩු දේපළ රාජ සන්තක වූ හැටි

විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ෂිත හෙවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න දේපළ තහනම් කර තිබෙනවා.
මේ වන විට කුඩු සළිඳු නැමැත්තා විදෙස් රටක සැඟව ජීවත් වන අතර සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

කුඩු සළිඳු නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන්ම උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බව කියන දේපළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු අනුවයි මෙම දේපළ තහනමට ලක් කිරීමට පියවර ගෙන ඇත්තේ.
එම දේපළ අතර පානදුර – රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද වෙනවා.
එම දේපළ වටිනාකම රුපියල් කෝටි 02කට ආසන්න බවයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කලේ.
විදේශ ගතව සැඟව සිටියදී අත්අඩංගුව ගෙන මෙරටට රැගෙන ආ කුඩු සළිඳු නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව නැවත විදේශ රටකට පලා ගොස් මේ වන විට සැගව සිටිනවා.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් බව කියන රුපියල් කෝටි 3ක් වටිනා සුඛෝපබෝගී තෙමහල් නිවසක් නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් තහනම් කරනු ලැබුවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සදහන් කලේ පන්නිපිටියේ පිහිටි මෙම නිවස දින 7ක කාලයක් සඳහා තහනම් කර ඇති බවයි.
එම නිවස 2012 වසරේදී පොඩි ලැසීගේ මිත්තණියගේ නමින් මිලදීගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මිත්තණියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ, තමන්ට අදාළ දේපළ මිලදීගැනීම සඳහා මුදල් නොතිබූ බවයි.
පසුව පොඩි ලැසීගේ මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ, අදාළ නිවස මිලදී ගැනීම සඳහා මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තමන්ට මතක නැති බවයි.
පසුව නිවසේ පෙර අයිතිකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ, ඔහුද පවසා ඇත්තේ තමන්ට ද මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මතක නැති බවයි.
ඒ අනුව වසර දෙකකට අධික කාලයක සිට කිසිවෙකුත් පදිංචිව නොසිටි අදාළ සුඛෝපභෝගී නිවස තහනම් කිරීමට පියවර ගත් බව නීති විරෝධී වත්කම් කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා
පොඩි ලැසී නමැත්තාට එරෙහිව 2007 වසරේ සිට සිදුකළ විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු 26ක් මේ වන විට විභාග වෙමින් පවතිනවා..
ඒ අතරට, මනුෂ්‍ය ඝාතන සිද්ධි 5ක්, මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම හා බරපතල තුවාල සිදුකිරීම් සම්බන්ධ නඩු 13ක් මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධවලට සැලසුම් කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩු 8ක් ඇතුළත්.
2015 වසරේ දී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමේ චෝදනාවකට අදාළව සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොඩි ලැසී 2024 දෙසැම්බර් 09 වැනිදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරිමෙන් පසුව මෙරටින් පළාගිය අතර, නැවත ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන එනු ලැබුවා.
ඒ අනුව මේ වන විට ඔහු දින 90ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරිම් සිදු කරනු ලබනවා.

Share