එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තම ධුර කාලයේ අවසන් අදියර සනිටුහන් කළ හැකි බවට සනත් ජයසූරිය ඉඟි කර ඇතත්, තරගාවලියෙන් ඔබ්බට ඔහු සමඟ දිගටම කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
සන්ඩේ ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සනත් ජයසූරිය මහතා පැවසුවේ තම අවධානය ලෝක කුසලානය කෙරෙහි දැඩි ලෙස යොමු වී ඇති බවත්, ඔහුගේ කොන්ත්‍රාත්තුව එම තරගාවලියෙන් ඔබ්බට ගියද දිගු කාලීනව එම භූමිකාවේ රැඳී සිටීමට අදහස් නොකරන බවයි.
2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව තරඟාවලියක් පැවැත්වීමට නියමිතව තිබියදී තාවකාලික පත්වීමක් ලෙස සනත් ජයසූරිය, ජාතික කණ්ඩායම සමඟ එක්වූ අතර , දශක ගණනාවකට පසු ජාතික කණ්ඩායම විසින් පළමු ඉන්දියාවට එරෙහිව ලැබූ එක්දින තරඟාවලියේ ජයග්‍රහණයත් සමඟ, එම වසරේ අගභාගයේදී පූර්ණ කාලීන පදනමක් මත ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.
ජයසූරියගේ ප්‍රධාන පුහුණුකරු ධුරය යටතේ, ශ්‍රී ලංකාව සියලු ආකෘතීන් යටතේ තරඟ 60 කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් ජයග්‍රහණ 29 ක්, පරාජයන් 29 ක් සහ ජය පරාජයෙන් තොර තරග දෙකක් ලෙස 50% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්තා කර තිබෙනවා.
මාධ්‍යවේදීන් සමග පැවති කතාබහක දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පැවසුවේ ජයසූරිය මහතා විසින් සිදු කරනු ලබන කාර්යයන් පිළිබඳ මණ්ඩලය සතුටු වන බවත්, ඔහුගේ ප්‍රායෝගික ප්‍රවේශය සහ ක්‍රීඩකයින් සමඟ සමීපව සම්බන්ධ වීම අගය කරන බවයි.
විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ජයසූරිය සමඟ ඔහුගේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරන බවත්, තරගාවලියෙන් පසුවත් ඔහු සමඟ දිගටම කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් කෙටි කාලීන සේවා කාලයක් සහිතව විදෙස් පිතිකරණ පුහුණුකරුවකු ජාතික කණ්ඩායමට එක් කරන බවත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශක්තිමත් කිරීමේ අරමුණින් වත්මන් පුහුණුකරු රුමේෂ් රත්නායක සමඟ ඇතිකරගත් ගිවිසුමෙන් ඉවත් වී, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා විදේශීය ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවද ෂම්මි සිල්වා මහතා එහිදී පැවසුවා.





