එක්සත් අරාබි එමීර් වෙත එල්ල වූ ඉරානය ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ 58 දෙනා අතර, ශ්‍රී ලාංකිකයන් ද සිටින බවට එරට ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ මෙම ප්‍රහාර මාලාවෙන් දකුණු ආසියානු තිදෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන් පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයින් වන බවයි.
එක්සත් අරාබි එමීර් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ ඉරානයෙන් බැලැස්ටික් මිසයිල 165ක් කෲස් මිසයිල දෙකක් සහ ඩ්‍රෝන යානා 541ක් එල්ල වූ බවයි.
ඉන් බැලැස්ටික් මිසයිල 152ක් විනාශ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සමත් වී ඇති අතර, අනෙක් 13 මුහුදට වැටී තිබෙනවා.
කෲස් මිසයිල දෙකද හඳුනාගෙන විනාශ කර ඇති අතර, එල්ල කළ ඉරාන ඩ්‍රෝන යානා 541න් 35ක් රට තුළට වැටී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.
එම ප්‍රහාරයෙන් පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු මරණයට පත් වූ බවද අදාල නිවේදනයේ සඳහන්.
එසේම ශ්‍රී ලාංකිකයින් මෙන්ම එමිරේට්, ඊජිප්තු, ඉතියෝපියානු, පිලිපීන, පාකිස්තාන, ඉරාන, ඉන්දියානු, බංග්ලාදේශ, අසර්බයිජානය, යේමනය, උගන්ඩාව, එරිත් රියානු, ලෙබනන් සහ ඇෆ්ගන් ජාතිකයින්ද තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත එරට තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමඟින් එරට ශ්‍රී ලාංකිකයින්ට දන්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආරක්ෂිත රටක් නමුත් වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරමින් නිල ආරක්ෂක යාවත්කාලීනයන් පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසයි.
අත්‍යශවශ්‍ය නොවන ගමන් බිමන් හෝ ඒකරාශිවීම්වලින් ඉවත්ව තම නිවාස හෝ සේවා ස්ථානවල රැදී සිටින ලෙසත් බලධාරීන් විසින් නිකුත් කරන ලද ආරක්ෂක විධිවිධාන ඒ අයුරින්ම පිළිපඳිමින් නිරන්තර විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් තානාපති කාර්යාලය එරට ශ්‍රී ලාංකිකයින්ගෙන් කරුණිකව ඉල්ලා සිටිනවා.
තානාපති කාර්යාලය සාමාන්‍ය පරිදි සේවාවන් ලබාදීමට විවෘතව පවතින අතර, හදිසි තත්ත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් මුහුණ පාන ඕනෑම ගැටලුවක් විද්‍යුත් තැපෑල හෝ වට්ස්ඇප් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද තානාපති කාර්යාලය දැනුම්දී සිටිනවා.
මේ අතර ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ පෙරේදා පස්වරුවේ සිට මැදපෙරදිග කලාපයේ ගුවන් අවකාශ අවහිර කෙරුණා.
ඊට සමගාමීව කටුනායකයින් මැදපෙරදිග රටවලට යන සියලු ගුවන් සේවා අත්හිටුවනු ලැබුවා.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ ඊයේ දිනයේ පමණක් කටුනායක ගුවන් තොටුපළ හරහා ක්‍රියාත්මක ගුවන් ගමන් 88ක් අත්හිටුවූ බවයි.





