ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් අලි ලරිජානි සහ ගොලම්රේසා සුලෙයිමාන් මරුට

ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි සහ බසීජ් මිලීෂියා බලකායේ අණදෙන නිලධාරී ගොලම්රේසා සුලෙයිමාන් ඝාතනය වී ඇති බව ඉරානය අද නිවේදනය කළා.
මේ අතර ඉරානයට එරෙහිව සිදුකරනු ලබන හමුදා මෙහෙයුම්වලට සම්බන්ධව වීමට තමන්ට අවශ්‍ය නොවන බව නේටෝ මිත්‍ර පාර්ශ්වයින්, එක්සත් ජනපදයට දන්වා ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් නේටෝ සාමාජිකත්වය ගැන එක්සත් ජනපදය නැවත සිතා බැලිය යුතු බවයි.

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට දින 19ක්.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කලේ ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි සහ ඉරාන අභ්‍යන්තර බසීජ් මිලීෂියා බලකායේ අණදෙන නිලධාරී ගොලම්රේසා සුලෙයිමාන් ඝාතනය වී ඇති බවයි.
අලි ලාරිජානි ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙස 2025 අගෝස්තු මාසයේදී පත් කෙරුණා.
එමෙන්ම ඔහු ඉරාන ජනාධිපතිවරයාගේ සහ මිය ගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නියෝජිතයෙකු ලෙසද කටයුතු කළා.
ලාරිජානි අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ පැවති පලස්තීනුවන්ට සහය පළ කරන ‘අල්-කුද්ස් දින’ රැලියට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමග සහභාගී වෙමින්.
ඔහු වසර ගණනාවක් පුරා ඉරාන දේශපාලන බල ධූරාවලියේ ප්‍රධාන චරිතයක් වූ අතර, වරෙක බටහිර රටවල් සමග පැවති න්‍යෂ්ටික සාකච්ඡා සඳහා ද නායකත්වය දුන්නා.
මීට පෙර ඔහු ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
ඉරාන බසීජ් මිලීෂියා බලකායේ අණදෙන නිලධාරී ගොලම්රේසා සුලෙයිමාන් ද මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.‍

ප්‍රහාර මාලාවක් අතරතුර ලරිජානි සහ සුලෙයිමාන් මිය ගිය බව ඊශ්‍රායලය ඊයේ නිවේදනය කළ ද ඉරානය එය තහවුරු කළේ නැහැ.

මේ අතර අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වත්මන් ඉරාන යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී ස්වභාවය පිළිබඳව තවදුරටත් කරුණු හෙළිකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
එම ලිපියේ දැක්වෙන්නේ ඉරානයෙන් අමෙරිකාවට ක්ෂණික තර්ජනයක් පවතින බවටත්, දැන්ම ප්‍රහාර එල්ල කළහොත් ඉතා ඉක්මන් ජයග්‍රහණයක් කරා යා හැකි බවටත් ට්‍රම්ප්ව මුළා කර ඇති බවයි.
මෙය අතීතයේදී ඉරාක යුද්ධයට අමෙරිකාව පටලවා ගැනීම සඳහා ඊශ්‍රායල භාවිතා කළ උපක්‍රමයක් බවද ජෝ කෙන්ට් සිය ලිපිය මඟින් දැඩිව අවධාරණය කර ඇති බව සඳහන්.

45 හැවිරිදි කෙන්ට්, එක්සත් ජනපද විශේෂ බලකායේ සහ CIA ප්‍රවීණයෙක් ද වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඕස්ට්‍රේලියානු කඳවුරක් අසලට ඉරාන ප්‍රහාරක යානයක් පතිත වී ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.
කෙසේ වෙතත්, ඉන් කිසිදු ඕස්ට්‍රේලියානු භටයෙකුට තුවාල සිදුවී නොමැති බවයි වාර්තා සඳහන් කරන්නේ.

එම ප්‍රහාරක යානය කඳවුර දෙසට දිවෙන මාර්ගයකට පතිත වීමෙන් හටගත් කුඩා ගින්නක් හේතුවෙන්, නවාතැන් ගොඩනැගිල්ලකට සහ වෛද්‍ය මධ්‍යස්ථානයකට සුළු හානි සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

ඉරානයට එරෙහිව සිදුකරනු ලබන හමුදා මෙහෙයුම්වලට සම්බන්ධව වීමට තමන්ට අවශ්‍ය නොවන බවට නේටෝ මිත්‍ර පාර්ශ්වයින් විසින් එක්සත් ජනපදයට දන්වා ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරනවා.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් තවදුරටත් නේටෝ රටවල සහාය අවශ්‍ය නැති බවයි.
ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ අමෙරිකානු උත්සාහයට නේටෝ සංවිධානය විසින් සහාය දක්වන අතර යුද්ධයට සම්බන්ධ වීමට ඔවුන් මැලිකමක් දක්වන බව එහි සදහන්.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් නේටෝ සාමාජිකත්වය ගැන එක්සත් ජනපදය නැවත සිතා බැලිය යුතු බවයි.

ඉරානයේ මිසයිල මධ්‍යස්ථාන වෙත රාත්තල් 5,000ක බරුති අධි බල බෝම්බ ප්‍රහාර මාලාවක් සාර්ථකව එල්ල කළ බව අමෙරිකාව පවසනවා.

අමෙරිකානු මධ්‍යම අණදෙන විධානය පැවසුවේ මෙම ප්‍රහාරවල ඉලක්කය හෝමුස් සමුද්‍ර සන්ධිය අසල ඉරාන වෙරළ තීරයේ ස්ථාපිත නෞකා නාශක කෘස් මිසයිල පද්ධතිය බවයි.

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර දැඩි ආරක්ෂිත ‘හරිත කලාපයේ’ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ප්‍රබල පිපිරීම් මාලාවක් සිදුවී තිබෙනවා.

මෙය ඩ්‍රෝන ප්‍රහාරයක් බව අල්ජසීරා වාර්තා කළා.

මේ අතර ඉරානයේ පිහිටි බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසනවා.

නමුත් බලාගාරයට හෝ එහි කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් නැතැයි ඒජන්සිය සඳහන් කළා.

මේ අතර මධ්‍යම බේරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හය දෙනෙකු පමණ මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරනවා.
සෞදි අරාබියේ, අල්-ඛර්ජ් වෙත එල්ල කරනු ලැබූ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව බිම හෙළීමට හැකි වූ බව එරට රක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා.

Share