ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරාන නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු රැගත් ගුවන් යානය ඉරානය බලා ලඟාවෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
කෙසේ වෙතත් අදාළ ගුවන් යානය රට තුළට ගොඩබස්වා ඇති බවට බලධාරීන් විසින් මෙතෙක් තහවුරු කර නැහැ.
මේ අතර නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරාගනු ලැබූ ඉතිරි ඉරාන නාවිකයින් 32 තවදුරටත් මෙරට රැඳී සිටින අතර රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම්වලට අනුකූලව ඔවුන්ගේ ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේදී අමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයකට ලක්වූ ‘IRIS DENA’ නෞකාවේ සිට මියගිය ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් රැගෙන ගියා.
මෙම යානය ඊයේ රාත්‍රී 09.29ට පමණ පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.
ඉරාන නාවිකයින්ගේ සිරුරු රැගත් ගුවන් යානය එරටට ළඟාවෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළද එය ගොඩබස්වා ඇති බවට මෙතෙක් තහවුරු කර නැහැ.
මේ අතර සෞදි අරාබියේ ජෙඩා සිට සිංගප්පූරු ජාතිකයින් යලි රැගෙන ඒම සඳහා පිටත් කර යැවූ සිංගප්පූරු ගුවන් හමුදාවට අයත් යානයක් ශ්‍රී ලාංකිකයින් ඇතුළු තවත් විදේශිකයින් පිරිසක් සමඟින් නිරුපද්‍රිතව එරටට පැමිණි බව සිංගප්පූරු ජනරජ ගුවන් හමුදාව පවසනවා.
අදාළ යානයේ ප්‍රමුඛතා ධාරිතාව සිංගප්පූරු ජාතිකයින්ට ලැබී තිබූ අතර ඉතිරි ආසන ධාරිතාව මත ප්‍රමුඛතා ලැයිස්තුව සඳහා ඕස්ට්‍රේලියාව, බෲනායි, ඉන්දුනීසියාව, පිලිපීනය, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවල ජාතිකයින්ටද විවෘත කෙරුණා.
ඒ අනුව අදාළ පිරිස අතර සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ට ආරක්ෂාව සහ පහසුකම් සැලසීමට සිගප්පූරු රජය කටයුතු කරනු ඇති.
කෙසේ වෙතත් ඔවුන් මව් රටවල් වෙත යැවීම සහ ඒ සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාවලිය පිළිබඳ මෙතෙක් දැනුම්වත් කර නැහැ.
මේ අතර මැදපෙරදිග පවතින යුදමය වතාවරණය හේතුවෙන් මෙරට සංචාරකයින්ගේ පැමිණීම 30 %ක පමන ප්‍රමාණයකින් කැපී පෙනෙන ලෙස අඩුවක් දක්නට ලැබෙන බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා.





