ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවකට පෙර ආරම්භ වූ විරෝධතා මේ වනවිට දැඩි ප්රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබෙනවා.
අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක පැතිරී ඇති අතර ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ වසර ගණනාවකට පසුව වීමත් විශේෂත්වයක්.
ඔවුන් දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට ගෙන ඒමේ අරමුණින් මෙම විරෝධතාවේ නියැලෙන බව සඳහන්.
ඊයේ සවස ටෙහෙරාන් අගනුවර සහ ඉරානයේ දෙවන නගරය ලෙසින් සැලකෙන මෂාඩ්හි දැවැන්ත විරෝධතාවක් පවත්වා ඇති අතර, එය ආරක්ෂක හමුදා විසින් විසුරුවා හැරීමට දැඩි උත්සාහයක් ගෙන තිබෙනවා.
විරෝධතාකරුවන් විසින් ඉස්ෆාහන් නගරයේ පිහිටි රජයේ රූපවාහිනී මධ්‍යස්ථානයට ගිනි තබා ඇති අතර, ටෙහෙරාන් අගනුවර පාලන තන්ත්රයට පක්ෂපාතී පෝස්ටර් සහ බැනර් රැසක් ද ගිනිබත් කර ඇති බව වාර්තා වනවා.
මේ අතර අහ්වාස් (Ahvaz) සහ ඛොරාමාබාද් (Khorramabad) නගරවල ආණ්ඩුකාර කාර්යාලවලට ද විරෝධතාකරුවන් හානි කර ඇති බව සඳහන්.
මේ වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා රට පුරා අන්තර්ජාල විසන්ධි කිරීමක් ද සිදුකර තිබෙනවා.
අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්රවෘත්ති ඒජන්සිය (HRANA) අනාවරණය කර ඇත්තේ, අවම වශයෙන් විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 34ක් මේ වනවිට මරණයට පත්ව ඇති බවයි.
එමෙන්ම මේ වනවිට විරෝධතාකරුවන් 2,270 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.





