ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව පසුගිය සතියේ ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව 14වැනි දිනටත්

ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව පසුගිය සතියේ ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව 14වැනි දිනටත් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 116ක් පමණ මියගොස් ඇතැයි සදහන්.
වැඩ පිරිසක් මියගොස් සහ තුවාල ලබා ඇත්තේ විරෝධතා මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ එල්ල කරන වෙඩි ප්‍රහාර නිසා බවයි පැවසෙන්නේ.
එමෙන්ම 2,600කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් මේ වන විට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබෙනවා.
රට තුළ අන්තර්ජාල සබඳතා අක්‍රීය කිරීම හේතුවෙන් තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී ඇතැයි සඳහන්.
මෙවන් පසුබිමක එරට උත්තරීතර නායක අයිතුල්ලා අල් කමේනි පවසා ඇත්තේ විරෝධයේ නිරත පිරිස්වල අරමුණ අමෙරිකාව සතුටු කිරිම බවය.
එමෙන්ම විරෝධතාවලට සහභාගී වන ඕනෑම අයෙකු “දෙවියන්ගේ සතුරෙකු” ලෙස සලකනු ලබන අතර, එය මරණ දඬුවමට යටත් කළ හැකි චෝදනාවක් බවට ද ඔහු සඳහන් කළා.
ඉරානය අස්ථාවර කිරීමේ අමෙරිකානු ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කරමින් ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.
මේ අතර ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වීමත් සමග විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර හටගෙන ඇති ගැටුම් අතරතුර තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් ටෙහෙරාන් අගනුවර රෝහල් පිරී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ටෙහෙරාන් නුවර සෞඛ්‍ය අංශ උපුටා දැක් වූ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ, පවතින තත්ත්වය හමුවේ රෝහල් පද්ධතිය ද අර්බුදයට ලක්ව ඇති බවයි.

Share