ඉරාන නායකත්වයට එරෙහි ඇමරිකානු පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ඉරාන නව උත්තරීතර නායක, උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩල ලේකම් ඇතුලු ඉරානයේ ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු ලබා දෙන ඕනෑම අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 10ක් දක්වා ත්‍යාගයක් ලබා දෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිනුමේ සටහනක් තබමින් පවසන්නේ ඉරානය තම අවි බිම තබා රටේ ඉතිරිව ඇති දෙයක් වේ නම් එය බේරා ගන්නා ලෙසයි.
ඉරානයේ ‘කාර්ග් දූපතේ’ පිහිටි සියලුම හමුදා ඉලක්ක සහ මුලින්ම විනාශ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් සදහන් කරනවා
ඉරානයේ බොරතෙල් අපනයනයෙන් සියයට 90ක්ම සිදුවන්නේ මෙම කාර්ග් දූපතේ මාර්ගයෙන්.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ තැබූ සටහනේ සදහන් වන්නේ “මම එම දූපතේ ඇති තෙල් යටිතල පහසුකම් විනාශ නොකිරීමට තීරණය කළා. කෙසේ වෙතත්, ඉරානය හෝ වෙනත් අයෙකු හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකාවල නිදහස් හා ආරක්ෂිත ගමනාගමනයට බාධා කිරීමට යමක් කළහොත්, මම වහාම එම තීරණය නැවත සලකා බලනවා,” යනුවෙන්.
එසේම අමෙරිකානු ජනපතිවරයා ඉරානයෙන් ඉල්ලා ඇත්තේ, සිය අවි බිම තබා රටේ ඉතිරිව ඇති දෙයක් වේ නම් එය බේරා ගන්නා ලෙසයි.
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉරානයට යම් මට්ටමක සහායක් ලබා දෙමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබෙනවා.
ෆොක්ස් නිව්ස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී රුසියාව ඉරානයට සහාය වන්නේ දැයි නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
“මම හිතන්නේ පුටින් ඉරානයට යම් මට්ටමකින් උදව් කරනවා විය හැකියි,”යනුවෙන් ට්‍රම්ප් පවසා සිටියා.
ඔහු තවදුරටත් කියා සිටියේ “ඒ වගේම යුක්රේනයට අප උදව් කරනවා කියලා ඔහුත් හිතනවා ඇති, නේද?” යනුවෙන්.
රුසියාව විසින් ඉරානයට බුද්ධි තොරතුරු ලබා දී ඇති බවටත්, එම තොරතුරු ඇමරිකානු හමුදාවන්ට එරෙහිව භාවිතා විය හැකි බවටත් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වොෂින්ටනය දැඩි පරීක්ෂාවකින් සිටින බවද ඔහු පවසුවා.
මේ අතර ඉරාන නායකත්වයට එරෙහි ඇමරිකානු පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ඉරාන නව උත්තරීතර නායක, උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩල ලේකම් ඇතුලු ඉරානයේ ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු ලබා දෙන ඕනෑම අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 10ක් දක්වා ත්‍යාගයක් ලබා දෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ‘ත්‍යාග සඳහා සාධාරණත්වය’ වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශයේ දැක්වන්නේ ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි, උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලාරිජානි සහ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු ද මෙම ලැයිස්තුවට ඇතුළත් බවයි.
මේ අතර ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් කලාපයේ අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන තෙල් සමාගම්වල බලශක්ති ව්‍යුහයන්ට පහර දෙන බව ඉරානය පවසනවා.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා සියලුම නෞකා ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඉරාන නාවික හමුදාව සමඟ අනිවාර්යයෙන්ම සම්බන්ධීකරණය කල යුතු බව ද ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයින් බඝායි පවසා සිටියා.
ඔහු කියා සිටියේ “ඇමරිකාව සහ ඊශ්‍රායලය කලාපය තුළ නිර්මාණය කර ඇති අනාරක්ෂිතභාවය නෞකාවල ගමනාගමනයට බලපෑම් කළ හැකියි. කෙසේ වෙතත්, ඉරානයට අවශ්‍ය වන්නේ මෙම සමුද්‍ර සන්ධිය අනිවාර්යයෙන්ම ආරක්ෂිතව පවත්වා ගැනීමටයි” යනුවෙන්.
පර්සියානු ගල්ෆ් කලාපයේ දිගම වෙරළ තීරයට හිමිකම් කියන රටක් ලෙස, මෙම උපායමාර්ගික ජල මාර්ගය ආරක්ෂා කිරීම සඳහා ඉරානය නිරන්තරයෙන් කැපවී සිටින බව අමාත්‍යාංශ ප්‍රකාශකවරයා සදහන් කළා.
කෙසේ වෙතත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බොරතෙල් ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමතර යුද නැව් මැදපෙරදිග කලාපයට එවීම කෙරෙහි පෙන්ටගනයේ අවධානය යොමු වී ඇති බව ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරනවා.
ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ, ඉරානය විසින් මෙම උපායමාර්ගික ජල මාර්ගයේ සිය ප්‍රහාර දැඩි කර ඇති පසුබිමක, ගෝලීය බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගැනීමට සලකා බලමින් සිටින බවයි.
මේ අතර අමෙරිකානු මැරීන් භටයින් 2,500 ක් දක්වා සමන්විත ගවේෂණ ඒකකයක් ඉරානය අසල යෙදවීම සඳහා එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා කළ ඉල්ලීමකට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අනුමැතිය ලබා දී තිබෙනවා.
මේ අතර බටහිර ඉරාකයේදී ප්‍රහාරයකට ලක්වූ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 වර්ගයේ ඉන්ධන නැවත පිරවීමේ ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනාම මියගොස් ඇති බව ඇමරිකානු මධ්‍යම විධානය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ඊයේ උදෑසන වාර්තා වූයේ මෙම අනතුරින් සිව් දෙනෙකු මියගොස් ඇති බවත්, අතුරුදන් වූ අනෙක් දෙදෙනා සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත්, අතුරුදන්ව සිටි එම දෙදෙනා ද මියගොස් ඇති බව මේ වන විට තහවුරු වී ඇති බව ඇමරිකානු මධ්‍යම විධානය නිවේදනය කරනවා.
මේ අතර ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන පාර්ශවයන් අතර හුවමාරු වන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ රටවල් 12ක් සෘජු බලපෑමට ලක්ව ඇති බව අල්-ජසීරා පුවත් සේවය සදහන් කරනවා.
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඉරානයට වන අතර, එහිදී පුද්ගලයින් 1,444ක් මියගොස් ඇති අතර 18,551ක් තුවාල ලබා තිබෙනවා.
දෙවනුවට වැඩිම හානිය වාර්තා වන ලෙබනනයේ පුද්ගලයින් 687ක් මියගොස් 1,774ක් තුවාල ලබා තිබෙනවා.
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති අතර 2,000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටුම් හමුවේ ඇමරිකානු හමුදා සාමාජිකයින් 11 දෙනෙකු ද මියගොස් ඇති අතර තවත් 140-150ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බවත් එම වාර්තාවේ සඳහන්.
ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් වෙත ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් කුවේටයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මරණ 06 බගින්, ඕමානයේ මරණ 03ක් මෙන්ම, සෞදි අරාබියේ සහ බහරේනයේ මරණ 02 බැගින් වාර්තා වී තිබෙනවා.
මීට අමතරව කටාර් රාජ්‍යයේ පුද්ගලයින් 16 නෙනෙකුට තුවාල සිදුව ඇති අතර ජෝර්දානයයේ 14 දෙනෙකුට ද තුවාල සිදුව ඇති අතර සයිප්‍රසය යන රටවල් ද මෙම ප්‍රහාරවල බලපෑමට ලක්ව ඇති බව අදාළ දත්ත සටහන් පෙන්වා දෙනවා.





