ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කරන ආක්‍රමණශීලී ප්රහාරයන් සඳහා එක්සත් රාජධානිය සහාය නොදක්වන බව බ්‍රිතාන්‍ය අගමැති කීය ස්ටාමර් පවසනවා. මේ අතර ඕමාන් බොක්කෙහි පිහිටුවා තිබූ ඉරාන නාවික බලඇණිය විනාශ කළ බව එක්සත් ජනපද හමුදාව පවසනවා.
අද උදැසන දකුණු බීරූට්හි, හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධිත දේශීය නාලිකාවක් වන අල් මනාර් රූපවාහිනිය පිහිටා ඇති ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෙබනනයට සහ සිරියානු දේශසීමාවට එල්ල වී ඇති ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 52 දෙනෙකු මිය ගොස්, තවත් 154 දෙනෙකු තුවාල ලබා ඇති අතර දහස් ගණනක් අවතැන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ ලෙබනන් වැසියන් එරටින් පලායාමට පටන්ගෙන තිබෙනවා.
මේ අතර වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉස්ලාමාබාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සියලුම වීසා සම්මුඛ පරීක්ෂණ අවලංගු කර තිබෙනවා.
පාකිස්ථානයේ, කරච්චි නුවර අමෙරිකානු කොන්සල් කාර්යාලයට කඩා වැදුණු විරෝධතාකරුවන්ට අමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා ඇති බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
කෙසේ වෙතත් එල්ල කළ එම වෙඩි ප්‍රහාරවලින් කිසිවෙකු මිය ගියාද යන්න පිළිබඳව මේ වන තෙක් අනාවරණය වී නැහැ.
මේ අතර බහරේනයේ ෂෙයික් ඊසා ප්‍රදේශයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකට අද උදෑසන දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානය පවසනවා.
එමගින් ඇමරිකානු ගුවන් කඳවුරේ ප්‍රධාන අණදෙන සහ මූලස්ථාන ගොඩනැගිල්ල විනාශ කර, එහි තිබූ ඉන්ධන ටැංකි ගිනි තැබූ බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඒ සඳහා ඩ්‍රෝන යානා 20ක් සහ මිසයිල තුනක් යෙදවූ බව ද සඳහන්.
මේ අතර, ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොයාස්ටේ බග්සාදේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව තහවුරු කර තිබෙනවා.
කමේනිගේ බිරිඳ කෝමා තත්ත්වයේ පසුවන බව ඉරාන මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා.
මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශ විසින් බැලස්ටික් මිසයිල නවයක්, කෲස් මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 148ක් සාර්ථකව බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඉරාන ප්‍රහාර ආරම්භයේ සිට, රට දෙසට එල්ල වූ බැලස්ටික් මිසයිල 174ක් එල්ල වූ බවත්, ඉන් 161ක් විනාශ වී ඇති අතර, 13ක් මුහුදට වැටී ඇති බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සිය රටට එරෙහිව ඉරාන ඩ්‍රෝන යානා 689ක් ද ක්‍රියාත්මක වී ඇති අතර, ඉන් 645ක් විනාශ කර ඇති අතර, ඉන් 44ක් භූමිය තුළට එල්ල වී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර, කලාපීය වශයෙන් පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවා පියවරෙන් පියවර යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ඊයේ පස්වරුවේ සිට සීමිත ගුවන් ගමන් සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන බව Emirates ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා.
ඒහිදී මීට පෙර ගුවන් ගමන් වෙන්කරවාගෙන සිටි මගීන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවත්, මෙම සීමිත ගුවන් ගමන් සඳහා නැවත වෙන් කිරීම් සිදුකළ මගීන් වෙත ඒ පිළිබඳව සෘජුවම දැනුම් දීමට පියවර ගන්නා බවත් එම ගුවන් සේවය සඳහන් කර තිබෙනවා.
මේ අතර, ඩුබායි ජිවත්වන වැසියන් ආරක්ෂිතව සිටින බවට පෙන්නුම් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ඩුබායිහි පිහිටි සාප්පු සංකීරණයක ඇවිදිමින් එහි සිටින පිරිස් සමඟ කතා කරන අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා.
මේ අතර, නාවික ගමනාගමන මරමස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කළා.
ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවයි ඉරානය පවසන්නේ.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව ඉරානය විසින් මෙම දැඩි තීරණයට පිවිස තිබෙනවා.




