ඉන්ධන පෝලිම් අඩුවෙයි

ඉන්ධන බෙදා හැරීමේ නව ක්‍රමවේදය අනුව අද දිනයේ ඉන්ධන ලබා ගැනීමට හැකි වන්නේ වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම ඉරට්ටේ ඉලක්කමක් සහිත වාහනවලට පමණයි.
ඊයේ සවස 06:30 වනවිට පද්ධතිය තුළ රථවාහන ලියාපදිංචි කිරිම් 5,603,104ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කරනවා.
මේ අතර කෙසේ වෙතත් හෙට සහ අනිද්දා සති අන්තයේ බෙදුම්කරුවන් වෙත ඉන්ධන බෙදා හැරීම් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කමට අදාලව ඉන්ධන නිකුත් කිරීම ඊයේ ආරම්භ කෙරුණු අතර ඒ අනුව අද දිනයේ ඉන්ධන නිකුත් කෙරෙන්නේ අංක තහඩුවේ අවසාන ඉලක්කම ඉරට්ටේ ඉලක්කමක් සහිත වාහනවලට පමණයි. ඒ අනුව මෙතෙක් පැවති දිගු පෝලිම් වල සැලකිය යුතු අඩුවක් මේ වන විට පෙන්නුම් කරනවා.

කෙසේ වෙතත් ඇතැම් පිරවුම්හල් සඳහා ඇනවුම්කළ ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ඒවා වසා දමා ඇති අයුරු දක්නට ලැබුනා.
කෙසේ වෙතත් ඉන්ධන බෙදා හැරීම් සිදුකෙරෙන පිරිවුම් හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් නිළධාරීන් යොදවා ආරක්ෂාව සහ කටයුතු නිරීක්ෂනය කෙරෙන අයුරු දක්නට ලැබුණා.

මේ අතර ඉන්ධන QR කේතය සඳහා ඊයේ පස්වරු 06.30 වන වනවිට නව ලියාපදිංචීම් 503,236ක් සිදුව ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කරනවා.
ඒ අනුව, ඊයේ සවස 06:30 වනවිට පද්ධතිය තුළ මුළු ලියාපදිංචි සංඛ්‍යාව 56,03,104ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය සදහන් කළා.
මේ අතර මේ මස 15 දින 42,899ක්, 16 දින 337,068ක්, 17 දින 395,349ක් සහ මාර්තු 18 දින 301,463ක් ලෙස නව ලියාපදිංචීම් වාර්තා වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ ඉන්ධන නිකුතුව කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කෙරන බව බව්සර් රථ රියදුරන් පවසනවා.

මේ අතර සාමාන්‍ය පරිදි හෙට සහ අනිද්දා දිනවල බෙදුම්කරුවන් වෙත ඉන්ධන බෙදා හැරීම් සිදු නොකරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
කෙසේ වෙතත් මේ වන විට මැයි මාසය දක්වා ඉන්ධන තොග පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරනවා.
එසේම පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව ඉන්ධන සැපයීම සදහා ප්‍රමාණවත් තොග ඇනවුම් කර පිරවුම්හල්වල කටයුතු පවත්වාගෙන යාම පහසු කරළීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ඔහු ප්‍රකාශ කලා.
මේ අනුව අදාළ චෙක්පත්, ඇණවුම් අංශය වෙත හෝ තොග පර්යන්තය වෙත පෙර දිනයේදී භාරදීමට පියවර ගැනීම මගින් ඉන්ධන ඇණවුම් කිරීමේදී ඇති විය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකි බවයි එම සංස්ථාව පෙන්වා දෙන්නේ.

මේ අතර මෙරටට ආනයන කරන වාහන හම්බන්තොට වරායේ සිට එම වාහන හිමිකරුවන්ට නිවසට හෝ අදාල ස්තාන වලට රැගෙන යාම සදහා ඉන්ධන ලබාගැනීමේ ගැටලුවක් පැන නැගී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයේන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සමග පැවැති සාකච්ඡාවේ දි ඊට විසදුම් ලැබී තිබෙනවා.

Share