ඉන්ධන අර්බුදය හමුවේ රෝහල් පද්ධතිය බිඳවැටීමේ බරපතල අවදානමක්

ඉදිරි පැය 48ක් ඇතුළත ඉන්ධන සම්බන්ධයෙන් නිශ්චිත විසඳුම් නොලැබුණ හොත් ලබන සඳුදා සිට රෝහල් පද්ධතිය බිඳවැටීමේ බරපතල අවදානම කිසිසේත්ම වළක්වා ගත නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එම සංගමය රජයට දැනුම් දෙන්නේ වහාම QR කේතයට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන ලෙසයි.

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
එසේම රජයේ අත්‍යවශ්‍ය සේවාවන්ද බාධාවකින් තොරව පවත්වාගෙන යෑම පිළිබඳව කමිටුවේදී අවධානය යොමු වූ අතර, මහජනතාවට රජයේ සේවා ලබාදීම අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ රජයේ සේවකයන්ට මුහුණ දීමට සිදුවන අසීරුතා මඟහැරවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කෙරුණා.
මේ අතර ජාතික එකමුතු ගුරු සංගමය චෝදනා කරන්නේ රට තුළ පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් ඈත දුරබැහැර ප්‍රදේශවල සිටින දරුවන්ට සහ ගුරුවරුන්ට දැඩි අපහසුතාවන්ට මුහුණදීමට සිදුවන බවයි.
මේ අතර අද දිනයේ සිට සියලුම භූමිතෙල් භාවිතා කරන ධීවර යාත්‍රා සඳහා අදාළ ඉන්ධන ප්‍රමාණයන් ලබාදෙන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රජය විසින් ඉන්ධන කෝටාවන් ලබාදීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය නොසලකා හැර තිබෙන බවයි.
ඒ අනුව ඉදිරි පැය 48ක් තුළ මේ සඳහා නිශ්චිත විසඳුම් නොලැබුණ හොත් ලබන සඳුදා සිට රෝහල් පද්ධතිය බිඳවැටීමේ බරපතල අවදානමක පවතින බව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය අනතුරු අගවනවා.

Share