ඉන්දීය යුධ හමුදාපතිවරයා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දීය යුධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි මහතා සහ ඔහුගේ බිරිද දෙදින නිල සංචාරය අවසන් කොට අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
ඉන්දීය යුධ හමුදාධිපතිවරයා මෙරට රැදී සිටි කාලය තුල ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන ආයතන කිහිපයක සංචාරය කළ අතර දෙරටෙහි සන්නද්ධ හමුදා අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබිඹු කරමින් යුධ හමුදාවේ සුබසාධනය වෙනුවෙන් පරිත්‍යාග කිහිපයක්ද සිදුකළා.
මේ අතර ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා හා මෙරට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා ඊයේ කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමුවුනා.
මෙහිදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉන්දීය යුධ හමුදා ප්‍රධානී ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි මහතාව ඉතා උණුසුම් අයුරින් පිළිගෙන දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් ද පැවැත් වූ බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.

Share