2026 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩාකිරීම සඳහා ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. මේ අතර තරගයේ අවසාන අදියරේ ටිකට්පත් අලෙවි කිරීමද ඊයේ ආරම්භ වුණා.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා වැඩිම ප්‍රේක්ශක අවධානයක් දිනා ගත් ඉන්දු – පකිස්ථාන පස මිතුරන්ගේ ගැටුම වර්ජනය කරන බව පකිස්ථාන කණ්ඩායම තරගාවලිය ආරම්භයේදී ම ප්‍රකාශ කලා.
කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්චාවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් පකිස්තාන ක්‍රිකට් පාලන මණ්ඩයලයෙන් කළ ඉල්ලීමත්, ජාත්‍යන්තර කවුන්සිලය ,බංග්ලාදේශ සහ පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධානීන් අතර සිදු වූ සාකච්චාවත් හේතුවෙන් අවසානයේ දී පාකිස්ථාන කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ක්‍රීඩා කරන බව පසුගිය 12 වැනිදා ප්‍රකාශ කලා.
ඒ අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරීන් 12 දෙනෙකු ද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන මෙය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 7ට තරගය ආරම්භ වීමට නියමිතයි.
මේ තරගය නැරඹීමට පැමිනෙන 35000ට අධික ක්‍රීඩා ලෝලීන්ට හෙට දින පස්වරු තුනේ සිට ක්‍රීඩාංගනයේ දොරටු විවෘත වන අතර එම කාලසීමාව තුළ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය අවට මාර්ග කිහිපයක රථවාහන ධාවනය ද සීමා කරන බව පොලිසිය පැවසුවා.
මෙම තරඟාවලියේ පවතින ජාත්‍යන්තර වැදගත්කම මෙන්ම ලොව පුරා විවිධ රටවලින් පැමිණෙන ක්‍රීඩකයින්, නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිස සැලකිල්ලට ගනිමින්; ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් සැකසූ ඒකාබද්ධ ආරක්ෂක සැලැස්මක් සම්බන්ධීකරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.
ඒ අනුව තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය, කණ්ඩායම් රැඳී සිටින හෝටල්, පුහුණු මධ්‍යස්ථාන, ගුවන් තොටුපළ සහ නම් කරන ලද ප්‍රේක්ෂක කලාප සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යොදවා ඇතැයි එම නිවේදනයේ සඳහන්.
තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව පුරාම සුරක්ෂිත පරිසරයක් සහතික කරනු පිණිස විසිහතර පැය පුරා ක්‍රියාත්මක ආරක්ෂක පද්ධති, ප්‍රවේශ පාලන ක්‍රියා පටිපාටි, වාහන පරීක්ෂා කිරීමේ ස්ථාන සහ ප්‍රේක්ෂක හැසිරවීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනු ලබන බව ද ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයේ සඳහන්.
සිය නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ CCTV නිරීක්ෂණ සහ තත්කාලීන බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය ඇතුළු ආවේක්ෂණ පද්ධති හරහා, පවතින තත්ත්වයන් නිරීක්ෂණය සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කෙරෙන බවයි.
මේ අතර හෙට පැවැත්වෙන ඉන්දු – පකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට වැඩි සම්භාවිතාවක් ඇති බව කාළගුණ විශේෂඥයින් පවසනවා.





