ඉන්දියාවට සිම්බාබ්වේ සමග පැවති තරගයෙන් ලකුණු 72කින් ජයග්‍රහණයක්

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තව දුරටත් ආරක්ෂා කර ගන්නට ඉන්දියාවට ඊයේ හැකි වුණා.
එ සිම්බාබ්වේ සමග පැවති තරගය ලකුණු 72කින් ජය ගනිමින්.
ඒ සමඟම සිම්බාබ්වේ කණ්ඩායමට සිය ලෝක කුසලාන ගමන සුපිරි 8 දෙනාගේ වටයෙන් නිමා කරන්නට සිදු වුණා.
මෙවර තරගාවලියේ දේශීය නිදහස් සංඛ්‍යාත ඔස්සේ විකාශය කිරීමේ අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් වෙතයි.

චෙන්නායී හී චිදම්භරම් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 256ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
මෙය වාර්තා අතරට එක් වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මීට පෙර ලකුණු 254ක් රැස්කර ගනිමින් එම වාර්තාවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හිමිකම් කියුවේ සිම්බාබ්වේ කණ්ඩායමටම එරෙහිව වීමත් විශේෂත්වයක්.
මෙය T20 ලෝක කුසාලාන තරගයක කණ්ඩායමක් ‍රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර 2007 වසරේදී කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 260ක වාර්තාවට පමණක් දෙවැනි වනවා.
ලකුණු 257ක අති දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 6ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 184ක් පමණයි.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් තනි සටනක නියැලුණු බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 97ක් රැස්කර ගත්තා.

ඔහුගේ එම ඉනිම හේතුවෙන් සිම්බාබ්වේ ලැබීමට තිබූ දැවැන්ත පරාජයේ බර අඩුවූ අතර, ඒ සමග ඉන්දියාවට බටහිර ඉන්දීය කොදෙව්වන් අබිබවා ‘Group 1’ කොටසේ දෙවන ස්ථානයට පැමිණීමට තිබූ අවස්ථාවත් අහිමි වුණා.

ඒ අනුව ඉරිදා පැවැත්වෙන ඉන්දියාව සහ කොදෙව් අතර තරගය අතිශය තීරණාත්මක තරගයක් බවට පත්වනවා.

කෙසේ නමුත් මෙම තරගයේ ප්‍රතිඵලයත් සමග දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

Share