ඇවිලෙන වැලිකතර

ඇමරිකානු සහ ඊශ්‍රයල එකාබද්ධ යුද මෙහෙයුම් ආරම්භ වූ පසුගිය මස 28 වැනි දා සිට මේ දක්වා කාලය තුල ඉරානයට විවිධ වර්ගයේ බෝම්බ 5,000 කට වැඩි සංඛ්‍යාවක් හෙළා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය සඳහන් කරනවා.
ප්‍රහාරය ආරම්භයේදී ඊශ්‍රායල් ගුවන් හමුදාවේ F-15, F-22 සහ F-35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවලින් ඉරානයේ ඉලක්ක වෙත බෝම්බ හෙළා තිබෙනවා.
පසුව ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන මෙහෙයුමට සම්බන්ධ වූයේ ටොමෝහෝක් වර්ගයේ මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කරමින්.
එමෙන්ම ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල එල්ල කිරීම මේ වන විට ප්‍රමාණාත්මක අඩු වී ඇති බව ද එම බලකාය සදහන් කරනවා.
මුහුදුබත් කර ඇති ඉරාන නෞකා සංඛ්‍යාව 20කට අධිකයි.

ඉරානයේ අගනුවර වන ටෙහෙරානය පුරා රජයට අයත් වැදගත් යටිතල පහසුකම් ඉලක්කකර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භකළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
මෙහිදී ප්‍රධාන වශයෙන් ඉරාන රජයේ පාලන මධ්‍යස්ථාන, ආරක්ෂක අංශවල මූලස්ථාන සහ සන්නිවේදන මධ්‍යස්ථාන විනාශ කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර ද දැඩි කර තිබෙනවා.
ලෙබනනයේ අගනුවරට ඊයේ දින ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළා.
මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ බේරූට්-රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයටයි.
මේ වන විට ඊශ්‍රායල් හමුදාව ගොඩබිම් මාර්ගයෙන් ද ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර පුද්ගලයින් 72 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෙබනනයේ බෙඩ්ඩාවි ප්‍රදේශයේ පිහිටි පලස්තීන සරණාගත කඳවුරක නිවසක් ඉලක්කකර ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් මගින් අලුයම් කාලයේදී ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වසීම් අතල්ලා අල්-අලි සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.
මේ අතර ලෙබනනය සහ ඊශ්‍රායලය අතර එක්සත් ජාතීන්ගේ මායිම වන නිල් රේඛාව අසල ලෙබනන් ගම්මාන කිහිපයකට ඊශ්‍රායල හමුදාව ඇතුළු වී එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය‌ ගොස් ඇතැයි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන බලකාය පවසනවා.

මේ අතර දකුණු ලෙබනනයේ පදිංචි ජනතාව වහාම ලිටානි ගඟෙන් උතුරු ප්‍රදේශයට පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නැවතත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තමන් කිසිවිටකත් යටත් නොවන බව හිස්බුල්ලා සංවිධානයේ නායක නයිල් කසේම් නිවේදනය කරනවා.
ඔහු අවධාරනය කරන්නේ ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බවයි.

කුවේට් වෙරළට නාවික සැතපුම් 30ක් පමණ දුරින් නවතා තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අසල සිදුවූ පිපිරීමකින් ඉන්ධන කාන්දුවක් සිදුවන බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය තහවුරු කර තිබෙනවා.
ඔවුන් සඳහන් කළේ නෞකාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂිත මුදා ගත් බවයි.
තෙල් කාන්දුව හේතුවෙන් පාරිසරික බලපෑමක් එල්ල විය හැකි අතර, පිපිරීම සමඟ කිසිදු ගින්නක් වාර්තා වී නොමැති බව සඳහන්.

මේ අතර සයිප්‍රසයේ දකුණුදිග ඇක්‍රොටිරි ප්‍රදේශයේ පිහිටි පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ඉරනාය එල්ල කළ එකක් නොවන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාරය දියත් කළේ කවුරුන්දැයි ආරක්ෂක අමාත්‍යාංශය හෙලි කර නැහැ.
මෙම ප්‍රහාරයෙන් කඳවුරට සුළු හානි සිදු වූ බව සයිප්‍රස් ජනාධිපතිවරයා පැවසුවා.
මේ අතර බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා අද සයිප්‍රසයට පැමිණීමට නියමිතයි.

කටාර් අගනුවර වන දෝහාහි පිපිරීම් රැසක් අද දිනය පුරා වාර්තා වී ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තාකළා.

මේ අතර ඒකාබද්ධ ප්‍රහාරයත් සමග වසා දැමූ ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ වන බෙන් ගුරියොන් ගුවන්තොටුපළ දින පහකට පසු නැවත විවෘත කර තිබෙනවා.
පළමු ගුවන්යානය ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිට අද උදෑසන එහි පැමිණි බව මාධ්‍ය වාර්තා කළා.
ගුවන් සීමාව වසා දැමීම නිසා ඊශ්‍රායලට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටින ඊශ්‍රායල වැසියන් 100,000ක් පමණ නැවත රැගෙන ඒමට නියමිතයි.

මේ අතර කලාපීය නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අතරමංව සිටින මගීන්ගේ පහසුව උදෙසා ඕමානයේ මස්කට් සහ සෞදි අරාබියේ රියාද් නගරවල සිට විශේෂ සහන ගුවන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටාර් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
එම ගුවන් සමාගම විසින් X සටහනක් තබමින් පැවසුවේ එම ගුවන් ගමන් අද සිට ආරම්භ කරන බවයි.
ඒ අනුව මස්කට් සිට ලන්ඩන්, බර්ලින්, කෝපන්හේගන් වැනි යුරෝපීය නගර කිහිපයකටත්, රියාද් සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වාත් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇති .
සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් ගුවන් සීමාව සුරක්ෂිත බව තහවුරු කරන තෙක් දෝහා සිට මෙහෙයුම් නැවත ආරම්භ නොකරන බවද සමාගම වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඊයේ යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.
යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 47ක් පමණයි.
විපක්ෂව ඡන්ද 53ක් හිමිවීම හේතුවෙන් එය පරාජයට පත් වුණා.
අදාළ යෝජනාව පරාජයට පත්වීමත් සමග ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මැද අමෙරිකාව සහ ඉරානය රහසිගතව සාකච්ඡා පවත්වන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සැක පළකර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරනවා.
එම වාර්තාවල සදහන් වන්නේ තමන්ට හොර රහසේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය ඉරානය සමඟ සටන් විරාමයක් ගැන සාකච්ඡා කරන බවට ඊශ්‍රායල අගමැතිවරයාට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි
නමුත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය පවසා ඇත්තේ එවැනි කිසිදු රහසිගත සාකච්ඡාවක් ඉරානය සමඟ සිදු නොකරන බවයි.
ඊශ්‍රායලය බලාපොරොත්තුවන හමුදාමය ඉලක්ක සපුරා ගැනීමට පෙර යුද්ධය අවසන් වේවි යැයි නෙතන්යාහු බියක් දක්වන බව ද වාර්තාවල සදහන්.
මේ අතර යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ඉරානයේ බුද්ධි අමාත්‍යාංශයේ නිලධාරීන් අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් CIA වෙත සිය කැමැත්ත පළ කර ඇති බව New York Times පුවත්පත වාර්තා කර තිබෙනවා.
මෙම යෝජනාව නම් නොකළ රටක බුද්ධි ඒජන්සියක් හරහා ඉදිරිපත් කර ඇති බවත්, මැදපෙරදිග සහ බටහිර රටවල නිලධාරීන් ප්‍රකාශ කළ බවත්, එම වාර්තාවේ සඳහන්.
ඉරාන බුද්ධි අංශ විසින් අමෙරිකානු CIA ආයතනය අමතා යුද්ධය නැවැත්වීම ගැන සාකච්ඡා කිරීමට කැමැත්ත පළකර ඇති බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත පවසා තිබේ.

Share