වසර 127ක කාලයක් බ්‍රිතාන්‍යයේ පෞද්ගලික එකතුවක පැවති, බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා ඇතුළු පූජනීය වස්තූන් ඉන්දියාවට වැඩම කරවීමෙන් පසු ඒවා ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීම අද නව දිල්ලියේ රායි පිතෝරා සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදුවෙනවා.
“ආලෝකය සහ නෙළුම බුද්ධත්වයට පත් වූ තැනැත්තාණන්ගේ ධාතූන් වහන්සේලා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කිරීමට නියමිතයි.
1898 වසරේදී උත්තර ප්‍රදේශ්හි පිප්රාවා ප්‍රදේශයේදී බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවෙකු වූ විලියම් ක්ලැක්ස්ටන් පෙප්පේ විසින් මෙම ඓතිහාසික පුරාවිද්‍යා භූමිය සොයාගෙන තිබෙනවා.
එහි තිබී හමුවූ කරඬුවක වූ බ්රාහ්මී අක්ෂර ලිපියකට අනුව, මෙම ධාතූන් වහන්සේලා බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ඥාතින් වූ ශාක්‍ය වංශිකයන් විසින් තැන්පත් කරන ලද ඒවා බවටයි තහවුරු වී තිබෙනවා.
පෙප්පේ විසින් මෙම වස්තූන් සොයාගැනීමෙන් පසු එහි විශාල කොටසක් කොල්කටා ඉන්දීය කෞතුකාගාරයට ලබාදුන් නමුත්, සුවිශේෂී මැණික් වර්ග 349ක් ඇතුළු කොටසක් ඔහු විසින් බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් තිබෙනවා.
වසර සියයකට වැඩි කාලයක් ඔහුගේ පවුලේ උරුමයක් ලෙස පැවති මෙම වස්තූන් 2025 වසරේ අප්‍රේල් මාසයේදී හොංකොංහි සොත්බි වෙන්දේසි ආයතනය හරහා වෙන්දේසි කිරීමට උත්සාහ කෙරුණා.
කෙසේ වෙතත් ඉන්දීය රජයේ සහ නීතිමය මැදිහත්වීම් මත “ගොඩ්රෙජ් ඉන්ඩස්ට්‍රීස්” සමාගමේ මූල්‍ය අනුග්‍රහය ද ඇතිව එම පූජනීය වස්තූන් නැවත ඉන්දියාවට ලබා ගැනීමට සමත් වුණා.
මෙම ධාතූන් වහන්සේලා වැඩම කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, මෙය ඉන්දියාවේ සංස්කෘතික උරුමය සුරැකීමේ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.





