මේ දිනවල රටේ සියළු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් සීග්‍ර ලෙස පහළ වැටී ඇති බව වාර්තාවනවා.
වෙළඳුන් මැසිව්ලි නඟන්නේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාව එළවළු මිලදී ගැනීමට මැලිකමක් දක්වන බවයි.
කෙසේ වෙතත් මිල පහළ බැස තිබුණ ද ජනතාව එළවළු මිලදී නොගැනීම හේතුවෙන් සිය වෙළදාම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.
මේ දිනවල රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක එළවළු මිල ඉතා සීඝ්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ මෙරට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉහල ගිය ආහාර මිල ගණන් නිසා ජනතාව එළවළු මිලදී ගැනීමට මැලිකමක් දැක්වීම හේතුවෙන්.
ඒ අනුව පෑලියගොඩ ආර්ථීක මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 300 – 350ක් වන අතර බෝංචි කිලෝවක තොග මිල දැක්වුනේ රුපියල් 350-400ත් අතරයි.
වම්බටු කිලෝවක තොග මිල රුපියල් 150- 200ක් වන අතර අමුමිරිස් කිලෝවක් රුපියල් 200ත් 250ත් අතර පවතිනවා.
තවද දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල දක්වුනේ රුපියල් 230-300ත් අතරයි.
බෝංචි කිලෝවක තොග මිල රුපියල් 150 – 200ත් අතර පවතිද්දී වම්බටු කිලෝවක මිල දක්වුනේ රුපියල් 60 – 100ත් අතරයි.
මෙලෙස එළවළු මිල ඉතා අඩු අගයක පැවතුණ ද ජනතාව එළවළු මිලදී නොගන්නා බවටයි වෙළඳුන් මැසිව්ලි නඟන්නේ.
කෙසේවෙතත් එළවළු මිල බැසීමේ වාසිය ජනතාවටද ඒ ආකාරයෙන් ලැබෙනවාද යන්න අප සොයා බැලීමක් කළා.
ඒ අනුව සිල්ලර එළවළු වෙළඳසැල්වලත් මේ වන විට කැරට් කිලෝවක් රුපියල් 400ත් 450ක් වන අතර බෝංචි කිලෝවක් පවතින්නේද 400ත් 450ක මට්ටමේයී.
වම්බටු කිලෝවක සිල්ලර මිල පවතින්නේ රුපියල් 200ත් 250ක් අතර මට්ටමේයී.
මේ අතර මේ දිනවල වෙළඳපොලේ පොහොර ගිඟයක් පවතින බව ගොවි සංවිධාන චෝදනා කරනවා.
මේ අතර එළැඹෙන යල කන්නයේදී පොහොර නිකුත් කිරීම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් සිදුවන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා.




